BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති

BBC සමීක්ෂකයෝ තාලිබාන් ව්‍යාපාරය යටතේ පවතින කළාපයකට පිවිසීමට සමත් වූහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, BBC සමීක්ෂකයෝ තාලිබාන් ව්‍යාපාරය යටතේ පවතින කලාපයකට පිවිසීමට සමත් වූහ.

තාලිබාන් සංවිධානය පරාජය කිරීම සඳහා ඩොලර් කෝටි ගණනක් වැය කරමින් ඇමෙරිකානු නායකත්වයෙන් මෙහෙයුමක් ගෙනයන ලද නමුත් එම සංවිධානය මේවනවිට ඇෆ්ඝන් භූමියෙන් 70% ක පමණ ක්‍රියාත්මක වෙන බව බීබීසිය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

එම සමීක්ෂණ වාර්තාව නිකුත් කරනු ලැබ තිබෙන්නේ මාස කීපයක් තිස්සේ සිදු කරන ලද කරුණු ගවේෂණයකින් අනතුරුවය.

2014 වසරේ දී විදේශීය හමුදා ඇෆ්ඝනිස්තාන් භූමියෙන් ඉඩත් කර ගනු ලැබීමෙන් අනතුරුව රටේ විශාල කලාපයක් තාලිබාන් පාලනය යටතේ පවතින අතර එසේත් නැත්නම් රටේ විශාල කලාපයක් එම සංවිධානයේ තර්ජනයට ලක්ව පවතින බව එම වාර්තාව මගින් පැවසෙයි.

එහෙත් එම නිගමන බැහැර කරන ඇෆ්ඝන් ආණ්ඩුව සිය රටට අයත් භූමියෙන් වැඩි කොටසක් තම අණසක යටතේ පාලනය වෙන බව කියා සිටියි.

කාබුල් අගනුවර ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයට පහර දුන් අවස්ථාවේ දර්ශනයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කාබුල් අගනුවර ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයට පහර දුන් අවස්ථාවේ දර්ශනයක්

එහෙත් පසුගියදා කාබුල් අගනුවර සහ වෙනත් ස්ථානයන්හි එල්ල කරන ලද ප්‍රහාර මගින් විශාල ජීවිත විනාශයක් සිදු කිරීමට තාලිබාන් සහ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රහාරකයෝ සමත් වූහ.

ඇෆ්ඝන් ආණ්ඩුව සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තාලිබාන් කැරලිකරුවන් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

තාලිබාන් තර්ජනය වැඩෙමින් පවතින අතරවාරයේ පසුගිය වසරේ ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානු හමුදා කාල නියමයකින් තොරව ඇෆ්ඝන් භූමියේ රැඳී සිටිනු ඇතැයි කියා සිටියේය.

සබැඳි පුවත්;