ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ඇයි කාලි දේවතාවිය විතරක් කළුපාටින්?”
පැහැපත් ඡවි වර්ණයට ලොබ කරන ඉන්දියානුවන් අඳුරු ඡවි වර්ණයෙන් නිමවන ලද දෙවිවරුන් දිව්‍යාංගනාවන් නමදින යුගයක් උදාවෙමින් ඇත.
පැහැපත් වර්ණය සඳහා ඇති ආශාව ඉන්දියානු සමාජයට අලුත් දෙයක් නොවේ.
සියවස් ගණනාවක් මුල්බැස ගත් ආකල්ප අනුව ඉන්දියානු සමාජයේ උස්මිටිතැන් තීන්දු කිරීමට ශරීර වර්ණය හේතුවක් කර ගැනීමේ පුරුද්දක් ඇත.
ඉන්දියාවේ මහා පරිමාණයෙන් අලෙවි වෙන පාරිභෝගික භාණ්ඩ අතර ඉහළම තැනක් ගන්නේ සිරුර ඔප දමමින් සම පැහැපත් කරන අංගරාග සහ සුවඳ විලවුන් ආදියයි.
සිරුර පැහැපත් කරන බව පවසමින් අංගරාග අලෙවි කරන වෙළෙඳ සමාගම් සිය ප්‍රචාරක දැන්වීම් සඳහා ඉහළ තලයේ වැජඹෙන බොලිවුඩ් නළු නිලියන් යොදාගනු ලබන්නේ විශාල මට්ටමේ මුදල් ගෙවමිනි.
සිරුරේ කිහිලි පමණක් නොව නොව කාන්තාවන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ පවා ඔප දමන ආලේපන සහ 'ජෙල්' වර්ග පසුගිය කාලයේ ඉන්දීය අංගරාග වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබුණි.
ඒවා පාවිච්චි කළොත් හොඳ රැකියාවක් මෙන්ම ප්‍රේමයක් ද දිනාගත හැකි බව එම වෙළෙඳ දැන්වීම්වල දැක්වෙයි.
එහෙත් දැන් පෙරට එමින් ඇති අලුත් නැඹුරුව කුමක්ද?
එක් ප්‍රචාරක දැන්වීමක මෙසේ දැක්වෙයි.
"අඳුරු සම ලස්සනයි" (Dark is Beautiful)
තවත් තැනක මෙසේ ලියා ඇත.
"පැහැපත් නොවන සම සිත්ගන්නා සුළුයි"( unfairandlovely )
එවැනි ප්‍රකාශන මගින් සිදු කරනු ලබන්නේ උපතින් ලද සිරුරේ අඳුරු චර්මය පිළිබඳව මිනිසා සතුටු කිරීමට දිරි ගැන්වීමකි.
ඉන්දියානු මිනිසා මහ පොළොවේ ජීවත්වෙන තමන්ගේ සිරුරේ ඡවි වර්ණය පමණක් නොව ඔවුන් අදහන දෙවි දෙවාතාවුන්ගේ සිරුරු පවා පැහැපත් වර්ණයෙන් ඇඳීමට සහ ඇඹීමට දක්වන්නේ නොනිවෙන නොසංසිඳෙන මහත් ආශාවක් යයි බොලිවුඩ් නිෂ්පාදක භාරද්වාජ් සුන්දර් පවසයි.
"අපේ ගෙවල්වල කෝවිල්වල වැඩ ඉන්න ජනප්‍රිය දෙවි දේවතාවුන් වහන්සේලාගේ සියලුම පින්තූර සහ පිළිම නිමවා තියෙන්නේ පැහැපත් හමක් සහිතව. දින දර්ශනවලට, පෝස්ටර්වලට සහ 'ස්ටිකර්ස්' ආදියට වගේම අන්තර්ජාලයට එක් කරනු ලබන පිංතූරත් එහෙමයි. ඒ විතරක්ද? රික්ෂෝවල පිටි පැත්තේ අලවල තියෙන දේවරූප බලන්න! ඒවා ඔක්කෝම හොඳ අලංකාර ඡවි වරණ තියෙන දෙවිවරු" භාරද්වාජ් සුන්දර් වැඩිදුරටත් පෙන්වා දෙයි.
හින්දු පුරාතන අනුව ක්‍රිෂ්ණ දෙවිඳුන් කළු පැහැති සමක් සහිත දෙවියෙකි.
එහෙත් ඉන්දියානුවන් ක්‍රිෂ්ණ දෙව්රුව සිතුවම් කරන්නේ පැහැපත් සමක් සහිතවයි.
තම රටේ සුදු අලි ඇතුන් නැතත් ඉන්දියානුවන් ඇත් මුහුණක් සහිත ගන දෙවිරුව පවා අඳින්නේ, අඹන්නේ සුදෝසුදු හෝ පැහැපත් වර්ණයෙනි.
"අපේ රටේ කවුරුත් ආශා කරන්නේ පැහැපත් හමකට. බලන්න! මට තියෙන්නේ කලුපාට හමක්. මගේ යාළුවෝත් මම වගෙයි. ඉතින් මම කොහොමද පැහැපත් ඡවි වර්ණ සහිත දෙවි දේවතාවුන්ට ගැළපෙන්නේ?" භාරද්වාජ් සුන්දර් ප්‍රශ්න කරයි.
එම අභියෝගය ජය ගන්නේ කෙසේද?
භාරද්වාජ් සුන්දර් දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරවාසියෙකි.
ඔහු ගත් පළමු පියවර වුණේ ඡායාරූප ශිල්පී නරේෂ් නිල්(Naresh Nil) සහ තවත් දෙදෙනකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමයි.
දෙවි දේවතාවියන් අඳුරු පැහැයකින් සිතුවම් කරමින් ඔවුන් විසින් පෙරට තබන ලද ව්‍යාපෘතියේ තේමා පාඨය මෙසේ විය.
"අඳුරු වර්ණය දිව්‍යමය වෙයි"
ඔවුන්ගේ ව්‍යාපෘතියේ ඊළඟ පියවර වුණේ විලාසිතා නිරූපණයේ නිරත කළු පැහැති තරුණයකු සහ තරුණියක් මුදල් ගෙවමින් තම වැඩ පිළිවෙලට යොදාගනු ලැබීමය.
දෙවිවරුන් සහ දිව්‍යාංගනාවන්ගේ ඇඳුම් සහ අභරණවලින් සැරසුණ ඔවුන්ගේ පින්තූර ඇතුළත් ව්‍යාපෘතියක් පසුගිය දෙසැම්බර් මාසයේ දින දෙකක කාලයක් දියත් කෙරුණ අතර ප්‍රතිඵලය අදහාගත නොහැකි මට්ටමේ එකක් විය.
සුරුති පෙරියසාමි (Suruthi Periyasamy) නිරූපිකාව බීබීසියට මෙසේ ප්‍රකාශ කළාය.
"මම මුලින් මේ ව්‍යාපෘතියට එක්වෙන්න කැමති වුණේ නැහැ. මොකද? මොන නිරූපිකාවද අඳුරු රූපයකට කැමති වෙන්නේ?"
එහෙත් වස්තුවට අධිපති ලක්ෂ්මී දෙවඟන නිරූපණය කිරීමට තෝරා ගනු ලැබීමත් සමඟ සුරුති පෙරියසාමි ප්‍රීතියෙන් ඔකඳ වන්නට වූවාය.
"ලක්‍ෂමී ඉන්දියානු සමාජයේ ජනප්‍රියම දේවතාවියයි. හැම කෙනාටම ඕන කරන්නේ ලක්ෂ්මී වගේ ලේලි කෙනෙක්. මොකද ? ඇය නිවසට සෞභාග්‍යය ගේනවා. මට ලක්ෂ්මිය වීමට ලැබීම වාසනාවක්" සුරුති පෙරියසාමි පවසන්නීය.
දෙසැම්බර් මාසයේ දියත් කරන ලද සිය "කළු දෙවි" ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇති ප්‍රතිචාරවලින් වැඩි හරියක් ශුභවාදී ඒවා බව බොලිවුඩ් නිෂ්පාදක භාරද්වාජ් සුන්දර් පවසයි.
එහෙත් ඇතැමුන් අසාධාරණ පක්ෂග්‍රාහී වීමක් පිළිබඳව ප්‍රශ්න මතු කරන බවත් ඔහු පවසයි.
ඔවුන්ගේ ප්‍රශ්නය මෙයයි.
"ඇයි කාලි දේවතාවිය කළු පාටින්ම අඳින්නේ?"
"මම හින්දු දහමට කැපවුණ බැතිමතෙක්. කිසිකෙනකුට අවමන් කිරීමේ චේතනාවක් මට නැහැ. ඒත් බලන්න! අප වටේ ජීවත්වෙන දේවි දේවතාවියන්ගෙන් 99.99 % ක්ම පැහැපත් සමෙන් යුක්තයි" භාරද්වාජ් සුන්දර් පෙන්වා දෙයි.
"පුද්ගලයකු දකින විට ඔහුගේ පෙනුම බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන් කාන්තාවන්. අපි හිතනවා - මේ තත්වය වෙනස් වෙන්න ඕන කියල" බොලිවුඩ් නිෂ්පාදකයා යෝජනා කරයි.
ඒවගේම "අඳුරු වර්ණය දිව්‍යමය වෙයි"( Dark is Divine) ව්‍යාපෘතියේ දී "පැහැපත් සම උත්තරීතරය" යන සමාජ විඥානයට අභියෝග කරන බවත් ඔහු කියා සිටියි.
(බීබීසී දිල්ලි කාර්යාලයේ ගීතා පාන්ඩේ එක්රැස් කරන ලද කරුණු ඇසුරෙනි)
සබැඳි පුවත්;