නින්දෙන් මෝටර් බයිසිකල් පදවන කතක්

Sleep walking

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නින්දෙන් ඇවිදීමේ රෝගයෙන් පීඩා විදින පුද්ගලයෙකු ජලය පිරි ස්ථානයක, කලබලකාරී මාර්ගයක් අසල හෝ කදු හෙල් ආසන්නයේ ජීවත් වීම ජීවිතයට ඉතා අනතුරුදායක විය හැකිය. නමුත් නින්දෙන් රිය පැදවීම මේ සියල්ලට වඩා අති භයානක තත්ත්වයකි.

එක්සත් රාජධානියේ වෙසෙන ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයි ලෙස්ෂිනර් ඔහු වෙත ප්‍රතිකාර සදහා පැමිණි නින්දෙන් ඇවිදින රෝගියෙකු පිළිබදව විස්තර මෙසේ පවසා සිටී. ඇය නින්දෙන් ඇවිදීම පමණක් නොව නින්දෙන් රිය පැදවීමේ ද යෙදෙන බව ඔහු පවසයි.

කැනඩාවේ සිට එක්සත් රාජධානියට පැමිණි ජැකී, නවාතැන් ගෙන සිටියේ වැඩිහිටි කාන්තාවක් සමග වන අතර, එක උදෑසනකදී ඇය ජැකී ගෙන් අසා සිටියේ,

"ඔයා කොහේද ඊයේ රෑ ගියේ?"

ජැකීගේ පිළිතුර වුයේ තමන් රාත්‍රියේ එළියට නොගිය බවය .

"ඒත් ඔයා ඊයේ ඔයාගේ මෝටර් බයිසිකලය පදවාගෙන එලියට ගියා" අනෙක් කාන්තාව පවසා සිටියා.

සැනෙකින් තිගැස්සුණ ජැකී අසා සිටියේ ඇය හිස් ආවරණය (Helmet) පැළද සිටියාද යන වගය.

මෙයට පිළිතුර වූයේ "ඔව්, ඔයා පඩි පෙළ බැහැගෙන ආවා. ඔයා හෙල්මට් එකත් දාගෙන එළියට ගියා" ජැකී මිනිත්තු 20ක් පමණ නිවසින් බැහැරව සිට ඇති බව ඇය තවදුරටත් පැවසුවාය.

Sleep walking

සඳ එළියේ මෝටර් බයිසිකලය ධාවනය කළ ජැකීට මේ කිසිවක් මතකයේ නැත. එයට හේතුව ඇය කාලය තුළ නින්දේ පසුවීමය. ඇය රාත්‍රියේ මෙවන් ගමනක් ගිය බවට කිසිදු සලකුණක් ද නැත. නැවත ගෙදර පැමිණි ඇය මෝටර් බයිසිකලය පෙර තිබූ පරිදි, එම ස්ථානයේම නවතා තබා ඇත.

ළමා වියේදී නින්දෙන් හඬින් ගොරවන ඇය මිතුරන් සමග විනෝද චාරිකා ගිය අවස්ථාවලදී මහත් අපහසුතාවට පත් වී ඇත. ඇයට නිතරම වැඩිහිටියෙකුගේ නිරීක්ෂණය යටතේ සිටින්නට සිදු විය.

"මම මහ රෑ මැද නින්දෙන් නැගිටිනවා. ඊට පස්සේ ගඟ ළඟට ඇවිදගෙන යනවා. සමහර විට කැලේට ඇවිදගෙන යනවා. ඔවුන්ට මාව වදයක් වුණා. ඒ නිසා මාව නැවත ගෙදර එක්කන් යනවා"

ඇය කුඩා කළ සිටම මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විදින බව පවසා සිටියාය.

"ගෙදරදී මම පඩිපෙළ බැහැල ඇවිත් මැද දොර ඇරලා මගේ දෙමව්පියන් ඉන්න තැන හිටගෙන ඉන්නවා. මේක දකින මගේ අම්මා භය වෙනවා. ඒත් තාත්තා මගෙන් අතින් අල්ලා ගෙන ආයෙත් මාව උඩ තට්ටුවට එක්ක ගිහින් ඇදට දානවා"

Sleep walking

ඡායාරූප මූලාශ්‍රය, ALAMY

ඡායාරූප ශීර්ෂ වැකිය, ජර්මනියේ නින්දෙන් ඇවිදිමින් 'ටුබා' (tuba) වාදනය කරන පුද්ගලයෙක්. (1932 ඉතාලි පුවත්පතක පළවූවකි)

දරුවෙකු 'නින්දෙන් ඇවිදීම' සාමාන්‍යය දෙයක් ද?

බොහෝ දරුවන් අතර මෙවන් හැසිරීම් රටා සුලභව දක්නට හැකිය.

සමහර දරුවන් නින්දෙන් කතා කිරීම, නින්දෙන් ආහාර ගැනීම සහ නින්දෙන් භය වී අසාමාන්‍ය ලෙස කෑ ගැසීම වැනි හැසිරීම් රටාවක් පිළිබිඹු කළත්, රාත්‍රියේ සිදුවූ කිසිවක් උදෑසන ඔවුන්ගේ මතකයේ රැඳී නැත. දෙමව්පියන් මේ ගැන බියට සහ කනස්සල්ලට පත් වුවත්, මෙය කුඩා දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම් රටාවක් බවට හඳුනාගෙන ඇත.

දරුවෙකු කුඩා කළ නින්දේදී සිහින දකින අදියරෙන් බැහැරදී මෙවන් තත්ත්වවලට මුහුණ දුන්න ද කාලයාගේ ඇවෑමෙන් ක්‍රමයෙන් නැති වී යයි. නමුත් 1-2% අතර ප්‍රමාණයකට වැඩි වියට පත් වූ පසුවද මෙම තත්ත්වයෙන් මිදිය නොහැකිය.

තවත් වැදගත් තොරතුරු:

ඉන්පසු ජැකී මොනවද කළේ?

නින්දෙන් මෝටර් බයිසිකලය ධාවනය කිරීම නැවත සිදු වීම වැලක්වීම උදෙසා, ජැකී සිය මෝටර් බයිසිකලයේ යතුර ඇයගේ ගෙහිමි කාන්තාව භාරයට පත් කළාය. නමුත් මෙය ඇයගේ ප්‍රශ්නයට විසඳුමක් වුයේ නැත.

Sleep walking

දිනක් ඇයගේ අසල්වාසීන් අසා සිටියේ ඇය උදෑසන 1.30 ට හෝ 2.00 ට කුමක් කරමින් සිටියේද යන්නයි.

තමා නින්දේ පසුවූ බවට ඇය පිළිතුරු දුන්නාය.

නමුත් ඔවුන් පවසා සිටියේ "නැහැ, නැහැ අපි ගෙදර එනකොට ඔයා ගෙදරින් එලියට යනවා අපි දැක්කා"

මෙවර ජැකී තම මෝටර් බයිසිකලය වෙනුවට නින්දෙන් තම මෝටර් රිය පදවාගෙන ගොස් නැවත පැමිණ පෙර නවතා තිබූ ස්ථානයේම කිසිදු වෙනසක් නොවන සේ රිය ගාල් කර ඇත.

නින්දෙන් රිය පැදවීම පමණක් නොව, මෑතකදී ජැකී නැවක චාරිකාවක යෙදෙද්දී එහි ඇතුළත නින්දෙන් ඇවිද ගොස් ඇත. මෙමගින් සිදුවිය හැකි අනතුරක් වළකා ගැනීම උදෙසා ඇය විසින් තම කාමරයේ යතුර නැවේ සේවකයෙකු අතට පත් කරන ලදී. ඔහු ඇය නිදා ගත් පසු කාමරය පිටතින් වසා දමා නැවත උදෑසන ඇයට යතුර බාර දීමට කටයුතු කර ඇත.

නින්දෙන් කරන මේ සියලු කටයුතු හේතුවෙන් තම ජීවිතයට සහ අන් අයගේ ජීවිත වලට ඇති අවදානම අවබෝධ කරගත් ජැකී වෛද්‍ය උපදෙස් පැතීමට තීරණය කලාය.

මෙම අතිශය අවදානම් හා සංකීර්ණ හැසිරීමට හේතුව කුමක්ද?

Sleep walking

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොල්ෆින් වැනි සමහර සතුන්ට මොළයේ එක් කොටසක් පමණක් භාවිත කරමින් නිදා ගත හැකිය.

අප දන්නා පරිදි, ඩොල්ෆින්, සීල් හා කුරුල්ලන් වැනි සමහර සතුන්ට මොළයේ එක් කොටසක් පමණක් භාවිත කරමින් නිදා ගත හැකි අතර, අනෙක් කොටසින් පිහිනන්නට සහ පියාසර කිරීමට හැකිය. නමුත් මිනිස් මොළයේ මෙවැනි ක්‍රියාකාරීත්වයක් සාමාන්‍යයෙන් දැකිය නොහැක.

නමුත් සමහර අවස්ථාවලදී අප මොළයේ නොයෙක් පැති නින්දේ පසුවෙද්දී එදිනෙදා ක්‍රියාවන්වල නිරත විය හැකි බව ජැකී ගේ තත්ත්වයත් සමග පැහැදිලි වේ.

ධාරණ ශක්තිය, තීරණ ගැනීමේ ශක්තිය සහ තාර්කික බුද්ධිය පාලනය වන මොළයේ කොටස් නින්දේ පසුවද්දී පෙනීම, සෙලවීම සහ හැගීම් පාලනය කරන මොළයේ කොටස් අවදියෙන් ඇති බව, නින්දෙන් ඇවිදින පුද්ගලයන් පිළිබඳ අධ්‍යයනවලින් පෙන්වා දී ඇත. මෙවන් පුද්ගලයන් තම දෑස් ඇරගෙන අවදියෙන් සිටීම, කතා කිරීම මෙන්ම වාහනයක් පැදවීම වැනි අපහසු කාර්යන්වල නිරත වුවත් ඒ කාලය ඇතුළත සිදුවූ කිසිවක් මතකයේ රැදී නොතිබීමට හේතුව පෙර කී අධ්‍යයනයෙන් යම් තාක් දුරකට පැහැදිලි වේ.

Sleep walking

අනෙක් බොහෝ නින්ද හා සම්බන්ධ ලෙඩ රෝග මෙන්ම, නින්දෙන් ඇවිදීම ද ජානමය රෝගයක් විය හැකිය. විශේෂඥ වෛද්‍ය ගයි ලෙස්ෂිනර්ගේ බොහෝ රෝගීන්ගේ රෝග ඉතිහාසය තම පවුලෙන් පැවැත එන බව නිරීක්ෂණය වී ඇත.

වෛද්‍ය උපදෙස් ලබා ගන්නා අතරදී ජැකී මෙම තත්ත්වය මග හැර ගැනීමට නොයෙක් උපක්‍රම භාවිත කර ඇත. ඇය තම නිවසේ දොරේ විශාල සීනුවක් එල්ලා තැබූ අතර තවත් පියවරක් ලෙස දොරේ යතුර සේප්පුවක දමා, එය උදෑසන 6 ට අගුළු ඇරිය හැකි පරිදි සකස් කර ඇත. මෙම උපායන් සාර්ථක වී ඇති අතර ඇය මධ්‍යම රාත්‍රියේ නින්දෙන් නිවසින් බැහැරට යෑම නැවතී ඇත.

මෙම අසාමාන්‍ය තත්ත්වය නිසා ඉතා අපහසුතාවයට පත් වන අවස්ථාවන් බොහෝ ඇත. සමහර පුද්ගලයන් නින්දෙන් දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ යවන අතර තවත් අය අඩ නිරුවතින් නිවසින් බැහැරව යෑම හෝ නින්දෙන් අහාර පිසීම වැනි කටයුතු වල නිරත වන අවස්ථාද වාර්තා වී ඇත.

Sleep walking

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

ඡායාරූප ශීර්ෂ වැකිය, තද නින්දක් ලබන පුද්ගලයෙකුගේ මොළය ක්‍රියා කරන අකාරය දකුණු පස 'ස්කෑන්' පිටපතේ දිස්වේ. වම් පස ඇත්තේ නින්දෙන් ඇවිදින පුද්ගලයෙකුගේ මොළයේ 'ස්කෑන්' පිටපතක්.

යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙයිර් ක්‍රයිගර් පවසා සිටියේ, "මම දන්නා එක් පුද්ගලයෙකු සිටියා සෑම රාත්‍රියකදීම නැගිටලා ජාතික ගීය ගයනා කර නැවත නින්දට යන"

බොහෝ පුද්ගලයන් නින්දෙන් ඇවිදීමේ තත්ත්වය තමන් විසින්ම පාලනය කරගනු ලැබේ.

බාධා සහිත නින්දක් සහ නින්දේ දී හුස්ම ගැනීමට අවශ්‍ය වාතය හරියාකාරව නොලැබීම මෙම තත්තවය උත්සන්න වීමට බොහෝ විට හේතු වන බව සඳහන් වේ.

මේ තොරතුරුද දැනගන්න: