ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට
චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට එකම දිනයක ශ්‍රී ලංකාවේදී යුග දිවියට පිවිසීමේ උත්සවයක් කොළඹ දී පැවැත්විණි.
ඉරිදා (දෙසැම්බර් 17) සවස කොළඹ නගර සභා පිටියේ පැවති මෙම උත්සවය ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වනු ලැබ තිබුණේ "රාජකීය විවාහ මංගල උත්සවයක්" ලෙසිනි.
ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ඓතිහාසික චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම උත්සවය සංවිධානය කිරීමේ අරමුණ බව උත්සවය අතරවාරයේ බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේය.
මනාල මනාලියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උඩරට ක්‍රමයට සැරසී සිටි අතර තවත් පිරිසක් චීන සාම්ප්‍රදායික ඇඳුමෙන් ද තවත් පිරිසක් යුරෝපීය ඇඳුම්වලින් ද සැරසී සිටියහ.
ඔවුන් සියළු දෙනාම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ක්‍රමයට අතිනත ගනු ලැබුවේ සිංහල මංගල චාරිත්‍ර කිහිපයක් ද අනුගමනය කරමිනි.
"ගොඩක් සතුටුයි, මෙහෙම ගොඩක් අය එක්ක එකතුවෙලා අපේ මංගල උත්සවය ගන්න ලැබීම ගැන. මේ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ," එක් චීන මනාලයෙක් සිය විශේෂ දිනය පිළිබඳව බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේය. ශ්‍රී ලංකාව තමන්ට සුවිශේෂී රටක් බව සංවාදයට එක් වූ ඔහුගේ බිරිඳ පැවසීය.
"අපිට ශ්‍රී ලංකාව කොහොමත් විශේෂයි. මොකද මම මෙහෙ අවුරුදු තුනකට පස්සේ නිවාඩුවකට ආපු වෙලාවේ තමයි මෙයාව හම්බවුනේ. මෙයා එතකොට ලංකාවේ වැඩකරගෙන හිටියේ," ඇය තම සැමියා ගැන විස්තර කළාය.
"අපි දෙන්නා මීට අවුරුදු හතකට කලින් විශ්ව විද්‍යාලේ හම්බවෙලා අපේ සම්බන්ධය පටන් ගත්තේ. මේක අපිට ගොඩක් වෙනස් අත්දැකීමක්," තවත් මනාලියක් සිය සුවිශේෂී දිනය ගැන අදහස් දැක්වුයේ එලෙසිනි.
"අපි ගොඩක් වාසනාවන්තයි මේ වගේ විශේෂ අවස්ථාවක විවාහ වෙන්න ලැබීම ගැන."
නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු දෙරට නියෝජනය වන සංස්කෘතිකාංග රැසක් ද උත්සවයට ඇතුළත් කර තිබුණි.
මෙම මනාල මනාලියන් පිරිස විවාහ උත්සවයෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක වශයෙන් වැදගත් ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතය.