ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍ය අගමැතිනියට ආන්දෝලනාත්මක පිළිතුරක්
තමන් ගැන අවධානය යොමු කරනු වෙනුවට බ්‍රිතාන්‍යයේ "ත්‍රස්තවාදය" පිළිබඳව අවධානය පළ කරන්නැයි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ වෙත ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
බ්‍රිතාන්‍යයේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් විසින් බෙදා හරින ලද වර්ගවාදය සහ ආගම්වාදය ඇවිලෙන ආකාරයේ වීඩියෝ කිහිපයක් ජනාධිපති ට්‍රම්ප් විසින් බදාදා (නොවැම්බර් 29) යළිත් බෙදා හැර (share) තිබුණි.
ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව බොහෝ බ්‍රිතාන්‍ය දේශපාලන නායකයන්ගේ දැඩි හෙළා දැකීමට ලක් වූ අතර, අගරදගුරු ජස්ටින් වෙල්බි ප්‍රකාශ කර සිටියේ ජනපති ට්‍රම්ප් මෙසේ "ජාතිවාදී අන්තවාදීන්ගේ අදහස් ප්‍රචාරය කිරීමට තෝරා ගැනීම, ගැඹුරු කැලඹීමක්" ඇති කළ හැකි බවය.
"ජනාධිපතිවරයා මෙලෙස ක්‍රියා කිරීම වැරදි," බව අගමැතිනි තෙරේසා මේ ගේ මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් අලුතෙන්ම ප්‍රතිචාරය පළ කර තිබෙන්නේ අගමැතිනියගේ එම ප්‍රකාශයටය.
"මම ගැන අවධානය යොමු කරන්න එපා. ඒ වෙනුවට එක්සත් රාජධානියේ දැනට පවතින විනාශකාරී රැඩිකල් ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන අවධානය යොමු කරන්න," ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.
මිලියන 40 කට වැඩි අනුගාමිකයන් පිරිසක් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම මගින් යළි බෙදා හැරුණු එම වීඩියෝ පට මුලින්ම ට්විටර් ගිණුමට එක් කරන ලද්දේ බ්‍රිට්න් ෆර්ස්ට් (Britain First) පක්ෂයෙහි උප නායිකාව වන ජෙයිඩා ෆ්රන්සන් (Jayda Fransen) විසිනි.
බ්‍රිතාන්‍යයේ බෙල්ෆාස්ට් නගරයේ පැවති රැළියක් අමතමින් "තර්ජනාත්මක, අපවාදාත්මක හෝ අපහාසාත්මක වචන ප්‍රකාශ කිරීම සහ ඒ අයුරෙන් හැසිරීම" යන චෝදනාවන්ට 31 හැවිදිරි ජෙයිඩා ෆ්රන්සන්ට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ.
ජනාධිපති ට්‍රම්ප් පළමුවෙන්ම තම පිළිතුරු ට්වීටර් පණිවිඩය නිකුත් කර ඇත්තේ අනුගාමිකයන් හයක් පමණක් සිටින වැරදි ට්වීටර් ගිණුමකට වන අතර, එය පසුව මකා දමා නැවත තෙරේසා මේ අගමැතිතුමියගේ නිල ට්වීටර් ගිණුමට යොමු කර ඇත.
අප්‍රසාදය පළ කිරීම් හෝ දෝෂාරෝපණ වලට පිළිතුරු දීමට ජනාධිපති ට්‍රම්ප් කිසිම අවස්ථාවක පසුබට නොවන බව මේ අලුත්ම ආන්දෝලනය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන උතුරු ඇමරිකානු කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු ඇන්තනී සර්ෂර් (Anthony Zurcher) පවසයි. එම දෝෂාරෝපණ සිය හොඳම මිතුරාගෙන් ද නැතහොත් තම හිතවත්ම රටෙහි නායකයාගෙන් ද යන්න පිළිතුරු සැපයීමේදී ඔහුට වැදගත් නොවන බව ඔහුගේ මතයය.
ට්‍රම්ප් ගේ වචන වලින්ම වරක් ප්‍රකාශ කළ පරිදි මෙය "ජනාධිපති පදවිය හැසිරවීමේ නූතන ක්‍රමවේදය" යන්නට තවත් උදාහරණයක් පමණය. ජාත්‍යන්තර සම්බන්ධතා කෙතරම් පළුදු වුවත්, ඔහුගේ ට්විටර් පණිවිඩ දිනෙන් දින ප්‍රසිද්ධ වෙමින් පවතින බව ද බීබීසී වාර්තාකරු පෙන්වා දෙයි. මේ සියල්ල අනවශ්‍ය හැල හැප්පීමක් ලෙසින් පෙනී යා හැකි නමුත්, එමගින් ජාත්‍යන්තර වශයෙන් ඇතිවන ප්‍රතිඵලය සුභදායක නොවිය හැකිය.
ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩය
මුස්ලිම් සංක්‍රමණිකයකු කිහිලි කරු ආධාරයෙන් ගමන් කරන නෙදර්ලන්ත ජාතිකයෙකුට පහර දෙන ආකාරය ට්‍රම්ප් බෙදා හළ පළමු වීඩියෝවෙහි දක්නට ලැබේ.
නමුත් එම පහරදීම සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු "නෙදර්ලන්තයේ ඉපදී හැදී වැඩුනු" කෙනෙකු බවත් නෙදර්ලන්ත අධිකරණ සේවාවන්හි මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසිය ට පැවසීය.
ඇමරිකාවේ පිහිටි නෙදර්ලන්ත තානාපති කාර්යාලය ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම ප්‍රකාශය තහවුරු කර තිබේ.
දෙවන වීඩියෝවේ කිසියම් පුද්ගලයෙකු මරියතුමියගේ පිළිමයක් කඩා බිඳ දමන අයුරු දැක්වේ.
මෙම වීඩියෝව 2013 දී යූ ට්යුබ් හරහා ප්‍රචාරය වී ඇති අතර, මෙහි රූප රාමු වල පෙනී සිටින පුද්ගලයා පවසන්නේ "ලෙවන්ට් නගරයේ අල්ලා දෙවියන් හැර වෙන කිසි කෙනෙකු වන්දනාමාන නොකරයි" ලෙසටය. මෙයින් හැඟවෙන්නේ ඔහු සිරියාවේ ජීවත් වන්නෙකු බවය.
තුන්වැන්න 2013 දී ඊජිප්තුවේ ඇතිවූ කැරලි කෝලාහල අතරතුර ඇලෙක්සැන්ද්‍රියාවේ ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු පහතට තල්ලු කරන දර්ශනයක් සහිත වීඩියෝවකි. මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාටම 2015 දී නීතියෙන් දඬුවම් පමුණුවා ඇති අතර එක් පුද්ගලයෙකුට එරෙහිව මරණ දඬුවම පවා ක්‍රියාත්මක කර හමාරය.
ධවල මන්දිර මාධ්‍යය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසන අයුරු තෙරේසා මේ ඇතුළු සියලුම ලෝක නායකයින් මේ පිළිබඳව උනන්දු විය යුතු අතර "ඇත්තෙන්ම මෙය අපි මහත් ඕනෑකමින් සැළකිය යුතු තර්ජනයක්," බව ඇය පවසන්නීය.
මේ තොරතුරුද දැනගන්න: