උයිගර් ජාතිකයෝ තායි සිර කඳවුරේ බිත්ති හාරා පලා යති

Detained Uighurs in Thailand say they left to escape persecution in Xinjiang

ඡායාරූප මූලාශ්‍රය, Reuters

තායි රැඳවුම් කඳවුරකින් පලා ගිය චීනයේ උයිගර් ජාතික සිරකරුවන් 20 දෙනෙකු සොයමින් සිටින බව බලධාරීහු පවසති.

උයිගර් ජාතිකයන් 200 ට වැඩි පිරිසක් 2014 දී තායිලන්තයේ දී රඳවාගනු ලැබුන අතර, පලා ගොස් තිබෙන්නේ ඒ අතර සිටි පිරිසකි.

රැඳවියන් 25 කට ආසන්න පිරිසක් මැලේසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි රැඳවුම් කඳවුරේ බිත්තිවල හිල් හාරා පසුව කටු කම්බි වැටෙන් පැනීම පිණිස ඇඳ රෙදි යොදාගෙන ඇති බව ද ඔවුහු පවසති.

එයින් පස් දෙනෙකු අල්ලා ගැනීමට කඳවුරු බලධාරීන්ට හැකි වී තිබේ.

ඔවුන් පලා ගොස් තිබෙන්නේ දකුණු තායිලන්තයේ සොන්ග්ක්ලා (Songkhla) පළාතේ කඳවුරකින් බව පවසන සංක්‍රමණික බලධාරීන්, සිය සිර කුටිවල බිත්ති සිදුරු කිරීම පිණිස ඔවුන් බිඳුණු උළු කැබලි යොදාගෙන ඇති බව ද සඳහන් කළහ.

චීනයේ ෂින්ජියෑන් පළාතේ තමන්ට එරෙහිව මර්දනයක් දියත්වන බව පවසමින් සිය ගණනක් උයිගුර් මුස්ලිම් ජාතිකයෝ එම ප්‍රදේශයෙන් පලා ගියහ.

උයිගුර්වරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන චීනය පවසන්නේ ඔවුන් නීති විරෝධී සංක්‍රමණිකයන් බවය.

"විසි දෙනෙක් තවමත් හැංගිලා ඉන්නවා," රැඳවුම් කඳවුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට පැවසීය. "අධික වර්ෂාව නිසා ඔවුන් පලා යන සද්දේ ඇහිලා නෑ."

පලා ගිය උයිගර් ජාතිකයන් සෙවීම පිණිස දේශසීමාව ආසන්නයේ සෝදිසි මුර කපොලු පිහිටුවන ලද බවත් ඔහු සඳහන් කළේය.

තුර්කිය බලා යාමේ අදහසින් බොහෝ උයිගර් ජාතිකයෝ අග්නිදිග ආසියානු රටවල් කරා පලා යමින් සිටිති.

2015 දී තායිලන්තය උයිගර් ජාතිකයන් 100 දෙනෙකු චීනයට භාර දුන් අවස්ථාවේ මහත් ආන්දෝලනයක් හටගත්තේය.

උයිගර් ජාතිකයන් කණ්ඩායමකගේ ජාතිකත්වය තහවුරු කෙරෙන තුරු ඔවුන් රඳවා තබා ගත යුතු බව තායිලන්තයේ අධිකරණයක් මීට ඉහතදී තීන්දු කළේය. එහෙත් චීනය මෙන්ම තුර්කිය ද පවසන්නේ ඔවුන් සිය රටේ පුරවැසියන් බවය.

ෂින්ජියෑන් පළාතේ උයිගර්වරු යනු කවුරුන්ද?

  • ඔවුහු තුර්කි මුස්ලිම් ජාතිකයෝය
  • ඔවුහු කළාපයේ ජනගහනයෙන් 45% ක් පමණ වෙති; කළාපයේ 40% ක් පමණ වැසියෝ හැන් චීන ජාතිකයෝය
  • කෙටි කලක් පැවති නැගෙනහිර තුර්ක්මෙනිස්ථාන පාලනය බිඳ දමමින් 1949 දී චීනය යළිත් වරක් කළාපයේ බලය අත්පත් කර ගත්තේය
  • එවක් පටන් හැන් චීන ජාතිකයෝ විශාල වශයෙන් කළාපය වෙත ඇදී ආහ
  • එහි ප්‍රතිඵලයක් ලෙස සිය සාම්ප්‍රදායික සංස්කෘතිය වියැකී යනු ඇතැයි උයිගුර්වරු බිය පළ කරති

සබැඳි යොමු: