ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරියානු අර්බුදය; "උතුරු කොරියානු තර්ජනය බලවත්"
උතුරු කොරියානු න්‍යෂ්ටික තර්ජනය තවත් උත්සන්න වෙමින් ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් (James Mattis) පවසයි.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් ඉරිදා එම ප්‍රකාශය කරන ලද්දේ දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙමින් සිටින අතරයි.
තවදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි පාවිච්චි කළොත් ඔවුන් 'දැවැන්ත යුදමය ප්‍රතිචාරයකට' ලක්විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද කළේය.
මේ අතර 'ප්යොන්ග්යාන්' පාලනය විසින් සිය මුහුදු තීරයට අනවසරයෙන් ප්‍රවේශ වූ දකුණු කොරියානු ධීවර යාත්‍රාවක් නිදහස් කරන ලද බවක් ද වාර්තා විය.
දහදෙනකුගෙන් සමන්විත තම ධීවරයන් කණ්ඩායම සිකුරාදා සන්ධ්‍යාවේ මුදා හැර ඇතැයි දකුණු කොරියානු නිලධාරීහු ප්‍රකාශ කළහ.
එම'සුහද පුවත' ප්‍රකාශයට පත් කරන ලද්දේ කොරියානු රාජ්‍යයන් දෙක යුද අභ්‍යාස මාලාවක නිරත වීම නිසා කොරියානු අර්ධද්වීපයේ ගැටුම්කාරී උණුසුමක් උත්සන්න වෙමින් පවතින අතරයි.
නීතියට පටහැණි එසේම අනවශ්‍ය මිසයිල් සහ න්‍යෂ්ටික අවි ව්‍යාපෘතියක් පවත්වා ගැනීම මගින් උතුරු කොරියාව සිය අසල්වාසීන්ට සහ ලෝකයට ඉතා අනතුරුදායක තත්වයක් නිර්මාණය කර ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා දකුණු කොරියාවේ දී ප්‍රකාශ කළ බව AP පුවත් ආයතනය වාර්තා කරයි.
උතුරු කොරියාවේ හැසිරීම නීතියට පටහැණි "සාපරාධී" එකක් යයි ප්‍රකාශ කළ එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා, එවැනි පරිසරයක් තුළ එක්සත් ජනපද - දකුණු කොරියානු ආරක්ෂක සහයෝගීතා හවුල අලුත් "හදිසි අවශ්‍යතාවයක්" බවට පත් විනැයි සඳහන් කළේය.
'න්‍යෂ්ටික බලයක් සහිත උතුරු කොරියාවක්' පිළිගැනීමට වොෂිංටන් පාලනයට නොහැකි බවත් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි.
ඔහු දකුණු කොරියාවේ 'සෝල්' (Seoul ) අගනුවර කරා පැමිණ සිටින්නේ වාර්ෂිකව දෙරට අතර පැවැත්වෙන ආරක්ෂාවට අදාළ සාකච්ඡා සඳහායි.
මෙම නොවැම්බර් මාසයේ ආසියානු සංචාරයක් ආරම්භ කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවටත් ලඟා වීමට නියමිතය.
උතුරු කොරියාව පසුගිය සැප්තැම්බර් මාසයේ ඔවුන්ගේ හයවැනි න්‍යෂ්ටික පිපිරවීම සිදු කළේය.
'ප්යොන්ග්යාන්' පාලනය විසින් මෙතෙක් සිදු කරන ලද බිහිසුණුම න්‍යෂ්ටික පිපිරවීම එයයි.
එම න්‍යෂ්ටික බෝම්බය කිලෝටොන් 50 - 120 ත් අතර බල ධාරිතාවයකින් යුක්ත විනැයි සිතන අතර එය ප්‍රමාණය අතින් 1945 වසරේ 'හිරෝෂිමා' නගරය මතට එල්ල කරන ලද බෝම්බය මෙන් තුන් ගුණයක් විශාල එකකැයි ඇස්තමේන්තු කෙරෙයි.
පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ජපානයට ඉහලින් 'බැලිස්ටික්' මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල කළ උතුරු කොරියාව තවත් මිසයිල් පිපිරවීම් රැසක් ද සිදුකර ඇත.
උතුරු කොරියාවෙන් එපරිද්දෙන් එල්ල කෙරන ප්‍රහාර වළක්වා ලීමේ එක්සත් ජනපද 'තාඩ්' (US Thaad) මිසයිල ආරක්ෂණ පළිහක් දකුණු කොරියාවේ ස්ථානගත කරනු ලැබ ඇත.
මේ අතර කොරියානු අර්ධද්වීපය වට කෙරෙන මුහුදේ දී ප්‍රහාරක ජෙට් යානා ,ගුවන් යානා ප්‍රවාහනය කෙරෙන නැව් සහ ප්‍රහාරක යුද නැව් සහභාගී කර ගත් ඇමෙරිකානු සහ දකුණු කොරියානු ඒකාබද්ධ යුද අභ්‍යාස මේ මාසය මුලදී ක්‍රියාවට නැංවුනි.
එම යුද අභ්‍යාස උතුරු කොරියාවේ කෝපයට හේතු වූ අතර 'ප්යොන්ග්යාන්' පාලනය විසින් එය විග්‍රහ කරන ලද්දේ "යුද්ධයේ පෙරහුරුවක්" හැටියටයි.
සබැඳි පුවත්;