විපතක් හමුවේ හිටපු ජනපතිවරු පස්දෙනා එකට එක්වෙති

සියරට මුහුණ දුන් මහා ව්‍යසනයක් හමුවේ සියලු දේශපාලන පසමිතුරුකම් ඉවතලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවමාන හිටපු ජනාධිපතිවරුන් පස්දෙනා එකට එකමුතුවීම ලෝකය පුරා මහජන අවධානයට භාජනය වෙමින් පවතී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය දැරූ දේශපාලනඥයන් පස් දෙනෙක් දැනට ජීවමාන වෙති.

බලයට පත් අනුපිළිවෙළ අනුව ඔවුහු ජිමී කාටර් ( 1977-81) ජෝර්ජ් බුෂ් -ජ්‍යෙෂ්ඨ ( 1989-93) බිල් ක්ලින්ටන් (1993-2001 ) ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් -කනිෂ්ඨ ( 2001-2009) සහ බරක් ඔබාමා ( 20092017) වෙති.

එම හිටපු ජනාධිපතිවරුන් පස් දෙනාගෙන් තුන් දෙනෙක් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන අතර ජෝර්ජ් බුෂ් පිය පුතු දෙදෙනා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරති.

දේශපාලන ආකල්ප සහ ප්‍රතිපත්තිමය කවර වෙනස්කම් ඇතත්, ඔවුන් පස්දෙනා පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් 21) ටෙක්සාස් ජනපදයේ දී එක් වේදිකාවක එකට පෙනී සිටියහ.

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනා එපරිද්දෙන් එකට එකතු වුණේ පසුගියදා එල්ල වූ 'හාවි' (Hurricanes Harvey ) 'ඉර්මා'(Irma) සහ මරියා (Maria) යන මහා කුණාටු ත්‍රිත්වයෙන් විපතට පත් ජනතාවට ආධාර පිණිස පැවැත්වුන සංගීත සංදර්ශනයක් වෙනුවෙනි.

විපතක් හමුවේ 'එක ඇමෙරිකානු උවමනාවක්' වෙනුවෙන් පක්ෂ දෙකක නායකයන් පස් දෙනෙක් එකට එකමුතු විනැයි දේශපාලන විචාරකයෝ ලියා ඇත.

විපතට පත් සිය රටවැසියන් වෙනුවෙන් ජනාධිපතිවරුන් පස්දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්වුන සංදර්ශනයේ දී ඩොලර් තුන්කෝටි දශ ලක්ෂයක මුදලක් එම අරමුදලට එකතු වී ඇත.

පසුගිය අගෝස්තු මාසයේ එල්ල වූ 'හාවි' කුණාටුවත් සමඟ ටෙක්සාස් ජනපදය මුහුණ දුන් ධාරානිපාත වර්ෂාව සහ ජල ගැලීම් නිසා ඩොලර් කෝටි ගණනක මහජන දේපොළ විනාශ විය.

එම කුණාටුව නිසා ටෙක්සාස් පමණක් නොව 'ෆ්ලොරිඩා', ඇමෙරිකානු 'වර්ජින්' දූපත් සහ 'පුවර්ටෝ රිකෝ' ප්‍රදේශ වලින්ද මහා විනාශයක් වාර්තා විය.

එම ජනතාවට ආධාර පිණිස පැවැත්වුන සංදර්ශනයට පෙර සිය කටහඬින්ම ප්‍රකාශයක් නිකුත් කළ ජනාධිපති බරක් ඔබාමා " හිටපු ජනාධිපතිවරුන් හැටියට ඇමෙරිකානු වැසියන්ට යථා තත්වයට පත්වීම සඳහා උදව් වීමට තමන්ට අවශ්‍ය කරන බව" කියා සිටියේය.

"ටෙක්සාස් ජනතාව කුණාටුවලින් පීඩාවට පත් වුනා. එහෙත් එක් 'ටෙක්සාස්' වැසියකු කියා ඇති පරිදි වතුරට වඩා අපේ ආදරය බලවත්" ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් (කනිෂ්ඨ) සඳහන් කළේය.

සංදර්ශන භූමියට ලඟා වූ හිටපු ජනාධිපතිවරුන් පස් දෙනා එය ආරම්භ වීමට පෙර ඇමෙරිකානු ජාතික ගීයත් සමඟ වේදිකාවට නැග ජාතිය හමුවේ එකට පෙනී සිට අනතුරුව ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබුණ අසුන්වල හිඳ ගත්හ.

සංදර්ශනය ආරම්භ වුණේ ලී ග්‍රීන්වුඩ් (Lee Greenwood) විසින් 'ඇමෙරිකානුවකු වීම සාඩම්බරයක්' (Proud to be an American) ගීයත් සමඟයි.

'ලේඩි ගගා' (Lady Gaga) අනතුරුව සංදර්ශනය මියුරු සරින් රසවත් කළාය.

බලයේ සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සංදර්ශනයට සහභාගී නොවුණි.

එහෙත් ඒ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ට්‍රම්ප් එය "ශ්‍රේෂ්ඨ කාර්යයක්!" හැටියට විග්‍රහ කරමින් සිය 'ගැඹුරු කෘතඥතාවය' පළ කර තිබුණි.

සබැඳි පුවත්;