ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඉර්මා' පසුපසින් තවත් කුණාටුවක් - කැරිබියානු කලාපයේ මහා විනාශයක්
'ඉර්මා' (Irma )චණ්ඩ කුණාටුව සිය ගමන් මාර්ගයේ හමු වෙන දූපත් ජලයෙන් යට කරමින් ගොඩනැගිලි සහ මහජන ජීවිත විනාශ කරමින් පැයට කිලෝමීටර් 285 ක (සැතපුම් 180 ක් ) වේගයෙන් කැරිබියානු දූපත් ඔස්සේ හමා යමින් පවතී.
මෙය දශක කීපයක් ඇතුළත අත්ලාන්තික් කලාපය මුහුණ දෙන දරුණුතම හරිකේන් කුණාටුවයි.
බ්‍රහස්පහින්දා උදෑසන වනවිට කුණාටුවෙන් මරණයට පත් ජන සංඛ්‍යාව යටත් පිරිසෙයින් දහදෙනකු යයි වාර්තා කෙරුණි.
කුණාටුවෙන් මේ වනවිට වැඩිම හානි සිදුව ඇත්තේ 'බාර්බුඩා' සහ 'සෙන්ට් මාර්ටින්' දූපත් දෙකටයි.
එයින් 'බාර්බුඩා' 1600 ක් පමණ ජනයා ජීවත් වෙන දූපතක් වන අතර 'සින්ට් මාර්ටිනි' සහමුළින්ම මෙන් විනාශ වූ බව අලුත්ම වාර්තා මගින් පැවසෙයි.
සිදු වී ඇති මරණ ප්‍රමාණය තවත් වැඩි විය හැකි බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.
ඉතා ප්‍රචණ්ඩ හරිකේන් කුණාටුවක් වන 'ඉර්මා' කැරිබියානු වේලාවෙන් බ්‍රහස්පතින්දා පාන්දර ඩොමිනිකා ජනරජයේ ඊශාන දෙසින් Turks සහ Caicos නම් දූපත් දෙසට හමා යමින් තිබුණි.
'ලීවර්ඩ්'(Leeward Islands) දූපත් ඔස්සේ හමා ආ 'ඉර්මා'පළමුවෙන්ම බැට දුන්නේ 'බාර්බුඩා' සහ 'ඇන්ටිගුආ' ද්විත්ව දූපත් රාජ්‍යයටයි.
බාර්බුඩා දූපතේ කුඩා දරුවකු මරා දැමූ 'ඉර්මා' සිය භූමියේ ගොඩනැගිලිවලින් 95% කට පමණ හානි සිදු කරන ලද බව අගමැති ගැස්ටන් බ්‍රව්නි(Gaston Browne) පවසයි.
එම දිවයින ගුවනින් අධීක්ෂණය කළ අගමැතිවරයා "මේක මහා විනාශයක්" යයි සඳහන් කළේය.
"මුළු දූපතම වගේ ජලයෙන් යට වෙලා. ජීවත් වෙන්න බැරි තැනක් බවට පත් වෙලා. දූපත් වාසීන්ගෙන් 50% කට උන්හිටිතැන් නැහැ. දූපත යළි ගොඩ නගන්න ඇමෙරිකානු ඩොලර් කෝටි දහයක් විතර වැය කරන්න සිදු වේවි" අගමැති ගැස්ටන් බ්‍රව්නි(Gaston Browne) පවතින තත්වය බීබීසියට විස්තර කරමින් කියා සිටියේය.
කෙසේ වෙතත්, අසූ දහසක් පමණ ජීවත් වෙන ඇන්ටිගුආ දූපතට ලොකු විපතක් සිදුව නැති බවත් 'බාර්බුඩා' සහ 'ඇන්ටිගුආ' අගමැතිවරයා පවසයි.
සෙන්ට් මාර්ටින් (Saint Martin) පාලන ක්‍රම දෙකක් සහිත දූපතකි. එයින් ප්‍රංශ පාලනය පවතින 'සෙන්ට් මාර්ටින්' කලාපය සහ ඕලන්ද පාලනයක් පවතින 'සින්ට්-මාර්ටෙන්' (Sint-Maarten) 'ඉර්මා' කුණාටුවෙන් නිසා බරපතළ විනාශයකට ලක්ව ඇත.
ඒවා අතරින් සෙන්ට් මාර්ටින් (Saint Martin) සහ සෙන්ට් බර්තලමි (Saint Barthélemy ) දූපතෙන් මරණ අටක්වත් වාර්තා වී ඇති බව නිලධාරීන් විසින් තහවුරු කරනු ලැබ ඇත.,
"මේක මහා ඛේදවාචකයක්. දූපතෙන් 95% ක්ම විනාශ වුනා" සෙන්ට් මාර්ටින් දූපතේ ඉහළ මට්ටමේ නිලධාරියකු වන ඩැනියෙල් ගිබ්ස් පවසයි.
මේ අතර 'සින්ට් මාර්ටෙන්' ඕලන්ද පාලන කලාපයේ ගුවන් තොටුපොළ සහමුළින්ම විනාශ වී ඇත.
එය කැරිබියානු කලාපයේ විශාලත්වය අතින් තුන්වෙනි තැන හිමිකර ගන්නා ගුවන් තොටයි.
"මුලින් ගැලවී ගිය ගස්, වහල නැති ගෙවල් සහ ගොඩ ගහපු බෝට්ටු පින්තූරවල දැක්වෙනවා" නෙදර්ලන්තයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නෙදර්ලන්තය එම දූපතේ ජනතාවට ආධාර වීම සඳහා නැව් දෙකක් යවනු ලැබ ඇතත් එම නැව් වලට වරායට ලඟාවීම දුෂ්කර වී ඇත.
ගුවන් තොටුපොළ විනාශ වී ඇති හෙයින් ගුවනින් ද එහි ලඟාවිය නොහැක.
ධාරානිපාත වර්ෂාව සහ චණ්ඩ මාරුතයත් සමඟ 'පුවර්ටෝ රිකෝ' දූපතේ තිස් ලක්ෂයක් පමණ වන ජනතාවගෙන් අඩකටත් අධික ජනකායකට විදුලි බලය නොමැත.
එම තත්වය තවත් දවස් කීපයක් පැවතිය හැකි බවත් නිලධාරීහු පවසති.
බ්‍රිතාන්‍ය පාලනය පවතින දූපත් දෙකක් වන 'ඇන්ගුලා' (Anguilla) සහ බිතාන්‍ය වර්ජින් දූපත් වලත් පවතින්නේ ඉතා අයහපත් කාලගුණයකි.
එම දූපතෙන් එක් මරණයක් වාර්තා වූ බව නිලධාරියකු විසින් තහවුරු කරනු ලැබ තිබුණි.
'ඇන්ගුලා' (Anguilla) දූපතේ ආණ්ඩුවේ රෝහල ද ඇතුළුව බොහෝ ගොඩනැගිලිවල වහල කඩා වැටී ඇති අතර, එහි වැසියෙක් පවතින තත්වය විග්‍රහ කරන්නේ "න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඇතිවිය තත්වයකට සමාන" වූවක් හැටියටයි.
'ඉර්මා' කුණාටුව සිදු කරන විනාශය පිළිබඳව තමා සහ තම ආධාරකරුවන් විමසිල්ලෙන් සිටින අතර උද්ගතව ඇති තත්වය 'යහපත් වූවක් නොවන බව" ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
'ඉර්මා' ලබන ඉරිදා වනවිට ෆ්ලොරිඩා වෙත ලඟා වනු ඇතැයි සැලකෙයි.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රාජ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර එහි සංචාරකයන්ට සහ බටහිර පලාත්වල වැසියන්ට ඔවුන් ජීවත් වෙන ස්ථානවලින් ඉවත් වෙන ලෙස ඇමෙරිකානු බලධාරීන් විසින් දැනටමත් උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගුවන් තොටුපොල කීපයක් වසා දමා ඇත.
සෙනසුරාදා එහි වේලාවෙන් සවස පහේ (17:00 ) පටන් 'ඕර්ලන්ඩෝ'ජාත්‍යන්තර ගුවන් තොටුපොල වසා දමන බව එහි බලධාරීන් විසින් නිවේදනය කරනු ලැබ ඇත.
ඉර්මා කැරිබියානු කලාපය ඔස්සේ හමා යමින් පවතින්නේ පසුගියදා 'හාවි' (Hurricane Harvey) කුණාටුව 'ටෙක්සාස්' ජනපදයට විශාල විනාශයක් සිදු කරනු ලැබීමෙන් දවස් කීපයකට පසුවයි.
එහෙත් කැරිබියානු කලාපය මුහුණ දෙන කුණාටු 'ඉර්මා'ගෙන් අවසන් නොවේ.
'ඉර්මා' කුණාටුවෙන් අනතුරුව සිකුරාදා පටන් එල්ල වෙන තවත් කුණාටුවක් පිළිබඳවත් කැරිබියානු කලාපයට දැනටමත් අනතුරු අඟවා ඇත.
'හොසේ' (Jose) යනුවෙන් නම් කරනු ලැබ ඇති එම කුණාටුව 'ඉර්මා' විසින් විනාශ කරන ලද දූපත්වලට යළිත් පහර දෙනු ඇත.