කැනඩා ආණ්ඩුව ආදිවාසීන්ගෙන් සමාව ඉල්ලයි

අපරාධ සඳහා වැනි ඉල්ලා සිටින ආදිවාසී කාන්තා නායිකාවක් - මාර්සියා බ්‍රවුන් මාර්ටෙල්(Marcia Brown Martel )
ඡායාරූප ශීර්ෂ වැකිය, අපරාධ සඳහා වැනි ඉල්ලා සිටින ආදිවාසී කාන්තා නායිකාවක් - මාර්සියා බ්‍රවුන් මාර්ටෙල්(Marcia Brown Martel )

මෙයින් දශක කීපයකට පෙර කැනඩාවේ ආදිවාසී ජනයාගේ දරුවන් ඔවුන් අයත් පවුල්වලින් ඉවත් කිරීමේ අපරාධයට වන්දි වශයෙන් ඩොලර් කෝටි හැටකට අධික මුදලක් ගෙවීමට කැනඩා ආණ්ඩුව එකඟ වී ඇත.

පීඩාවට පත් කැනේඩියානු ආදිවාසී පවුල් දහස් ගණනක් එම වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලබති.

1960 දශකයේ පටන් 1980 දශකය අතර කාලය ඇතුළත විසි දහසක් පමණ ආදිවාසී දරුවන් ඔවුන්ගේ පවුල්වලින් ඉවත් කරනු ලැබ වෙනත් පවුල්වලට දී ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

කැනඩාවේ ආදිවාසී සබඳතා භාර ඇමතිනී කැරොලයින් බෙනට් (Carolyn Bennett) ප්‍රකාශයක් කරමින්, ඉහත කී වන්දි ගෙවීම සිය රටේ ඉතිහාසයේ එක්තරා වේදනාකාරී අඳුරු පරිච්ඡේදයක් නිවැරදි කිරීමට තබන ලද පියවරක් හැටියට විග්‍රහ කළාය.

අතුරුදහන් සහ මරා දමා ඇති ගණන අපි හිතුවාට වඩා වැඩියි -ඇමතිනී කැරොලයින් බෙනට් (Carolyn Bennett)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන් සහ මරා දමා ඇති ගණන අපි හිතුවාට වඩා වැඩියි -ඇමතිනී කැරොලයින් බෙනට් (Carolyn Bennett)

සිය පවුල්වලින් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබ දැනට ජීවත් වෙන පුද්ගලයන් විසින් පවරන ලද නඩුකර ගණනාවක් ඇති බවත් කැනඩාවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

එපරිද්දෙන් සිය පාරම්පරික පවුල්වලින් වෙන් කරනු ලැබීම තම උරුමය සහ අනන්‍යතාව අහිමි කිරීමක් වන බව ආදිවාසී ස්වදේශීය ජනතාව කියා සිටිති.

එපමණක් නොව, එම ආදිවාසී දරුවන් පසු කාලයෙහි මානසික ව්‍යාධීන්ට පවා ගොදුරු වී ඇත.

ඔවුන්ගෙන් කොටසක් බරපතළ අපචාරයන්ට ලක් කොට ඇති අතර එම තත්වයට ගොදුරුවූවන් අතරින් ඇතැමෙක් සිය දිවි හානිකර ගෙන ඇති බව වාර්තා වෙයි.

2016 වසරේ නිකුත් කරන ලද කැනඩාවේ රාජකීය පොලිස් හමුදාවේ වාර්තාවකට අනුව 1980 සහ 2012 අතර කාලය ඇතුළත ආදිවාසී ප්‍රජාවට අයත් ස්වදේශීය කැනඩා කාන්තාවන් සහ දැරියන් 1200කට ආසන්න පිරිසක් මරා දමනු ලැබ හෝ අතුරු දහන් කරනු ලැබ ඇත.

සෙසු කැනඩා කාන්තාවන්ට සාපේක්ෂව ගත්විට ආදිවාසී ප්‍රජාවට අයත් කාන්තාවක් අතුරුදහන් කිරීමට හෝ මරා දැමීමට ඇති ඉඩකඩ හතර ගුණයකින් වැඩි බවක් ඇස්තමේන්තු කෙරෙයි.

ටීනා ෆොන්ටෙන් (Tina Fontaine) කැනඩාවේ ප්‍රංශ පදිංචි කරුවන් සහ ආදිවාසී ප්‍රජාව අතර මිශ්‍ර විවාහයකට අයත් පවුලක තරුණියක් වූ අතර මෑතදී ඇය මරා දමනු ලැබීම ස්වදේශීය කාන්තාවන් මුහුණ දෙන උවදුර සංකේතවත් කළ අපරාධයක මට්ටමින් සාකච්ඡාවට භාජනය වෙමින් ඇත.

ටීනා ෆොන්ටෙන් (Tina Fontaine)
ඡායාරූප ශීර්ෂ වැකිය, ටීනා ෆොන්ටෙන් (Tina Fontaine)

කැනඩාවේ දැනට ආදිවාසී ස්වදේශීය ජනතාව දාහතර ලක්ෂයක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි. එය රටේ කෝටි තුන හමාරක් පමණ වන සමස්ත ජනගහනයෙන් 05% කි.

ඔවුන්ගේ ජීවිත නංවා ලන බවට දෙන ලද පොරොන්දු දිගින් දිගටම කඩ කරමින් ඇතැයි පවසන ආදිවාසී ක්‍රියාධරයෝ, කැනඩා අගමැති ජස්ටින් ට්රූඩෝ(Justin Trudeau) දෝෂ දර්ශනයට ලක් කරන බවත් වාර්තා වෙයි.

කැනඩාවේ ආදිවාසීන්ට අත් වූ ඉරණම සම්බන්ධයෙන් හිටපු අගමැති ස්ටීවන් හාර්පර් (Stephen Harper) 2008 වසරේ සමාව ඉල්ලා සිටි නමුත් විවේචකයන් විග්‍රහ කළේ එය 'වංක පියවරක්' හැටියටයි.

කැනඩා ආණ්ඩුව විසින් පත් කරන ලද කොමිසමක් ප්‍රකාශ කරන පරිදි 1840 සහ 1996 අතර කාලය ඇතුළත ආදිවාසී 'මෙටිස්' සහ 'ඉන්යුට්' (Metis and Inuit) ජනයාගේ 150,000 කට අධික දරුවන් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කොට ආණ්ඩුවේ පාසල්වල නතර කර ඇත.

එහි පරමාර්ථය වී තිබෙන්නේ එම දරුවන්ගේ පාරම්පරික උරුමය වූ "ඉන්දියානු සංස්කෘතිය" මකා දැමීමයි.

අගමැති ට්රූඩෝ ආදිවාසී නායකයකු සමඟ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති ට්රූඩෝ ආදිවාසී නායකයකු සමඟ

එම දරුවන් මානසික ,ශාරීරික සහ ලිංගික හිරිහැර ආදියට ගොදුරු කොට ඇති බව පවසන කැනඩා ආණ්ඩුවේ වාර්තාව මන්දපෝෂණය සහ දූෂණය කිරීම් ගැනත් සඳහන් කරයි.

ආදිවාසී පවුල් වලින් උදුරා ගත් දරුවන් රැඳවු පාසල් ක්‍රිස්තියානි පල්ලි මගින් පවත්වා ගෙන ගොස් ඇති අතර, දිවි බේරී දැනට තරුණ වියේ පසුවෙන ආදිවාසියෙක් අදහස් දක්වමින්, කන්‍යා සොහොයුරියක් ඔහුගේම මුත්‍රා වලින් මුහුණ සෝදා ගන්නා මෙන් තමාට බලකළ බව කියා සිටියේය.

අතුරුදහන් සහ මරා දමා ඇති ආදිවාසී කාන්තාවන් පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති ජස්ටින් ට්රූඩෝගේ ආණ්ඩුව විසින් විභාගයක් ආරම්භ කරනු ලැබ ඇත.

ආණ්ඩුව කැනඩාවේ මුල් පදිංචිකාර ජනතාව සමඟ සබඳතා අලුත් කළ යුතුව ඇතැයි අගමැතිවරයා පවසයි.

"ආණ්ඩුවේ පරීක්ෂණය අවසානයේ ඉදිරිපත් කෙරෙන වාර්තාව සහ එමගින් ඉදිරිපත් කෙරෙන කරුණු සමහර වේදනාකාරී තත්වයන් සමහන් කරන පිළියමක් වේය කියන එක මගේ අවංක විශ්වාසයයි. සිදු වූ දේවල් සම්බන්ධයෙන් කැනඩා ආණ්ඩුව අවංක ලෙසම කනගාටුව පළ කරනවා. ආදිවාසී ජනතාව රැක බලා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් කැනඩා ආණ්ඩුව එම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා" අගමැති ජස්ටින් ට්රූඩෝ කියා සිටියි.

"අයිතිවාසිකම්, ගෞරවය, සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය මත පදනම්ව ජාතියක් තවත් ජාතියක් සමඟ පවත්වන සම්බන්ධතාවය තුළින් පෙරට යාමේ සැලැස්මක් අපට තියෙනවා" කැනඩා අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අතුරුදහන් හෝ මරා දමා ඇති ස්වදේශිකයන් වෙනුවෙන් ඉදි කෙරුණ සමරු පලකයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන් හෝ මරා දමා ඇති ස්වදේශිකයන් වෙනුවෙන් ඉදි කෙරුණ සමරු පලකයක්

මුල් පදිංචිකරුවන් වන ස්වදේශීය ජනතාවගේ අයිතිවාසිකම් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම ආරම්භ කරනු ලැබීමත් සමඟ ආණ්ඩුවේ වාර්තාව මගින් ඉදිරිපත් කෙරෙන සියලුම නිර්දේශ බල ගැන්වීමට සිය පාලනය යටතේ පියවර ගන්නා බවට අගමැති ජස්ටින් ට්රූඩෝ ප්‍රතිඥාවක් ද දෙයි.

සිය ආණ්ඩුව "ජාතික සංහිඳියාව ගොඩ නැගීමේ ආකෘතියක්" තුළ කැනඩාවේ මුල් පදිංචිකරුවන් වන ස්වදේශීය ජන නායකයන් සමඟ එකමුතුව කටයුතු කරනු ඇතැයි ද අගමැතිවරයා කියා සිටියි.