මිනිසාට ගොදුරු වූ යෝධ පිඹුරා

මිනිසෙකු සමඟ කළ සටනකින් පැරදුණු ඉන්දුනීසියාවේ යෝධ පිඹුරෙකු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වගා භූමියක පිවිසුම් මාර්ගයක් හරහා සිටිය දී අඩි 26ක් පමණ දිග මෙම පිඹුරා අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරියෙකු උත්සාහ කර ඇත.

එම අවස්ථාවේ දී පිඹුරා ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති අතර ගම්වාසීන් කිහිප දෙනෙකුගේ ද සහාය ඇතිව මෙම යෝධ පිඹුරා මරා දැමීමට ඔහුට හැකිවී තිබේ.

කෙසේ නමුත් රොබට් නබාබාන් නමැති මෙම පුද්ගලයාට ද සටනින් බරපතළ තුවාල සිදු වී ඇති අතර ඔහු රෝහල්ගත කෙරුණි.

අනතුරුව ගම්වාසීන් විසින් මෙම යෝධ පිඹුරා ප්‍රදර්ශනය සඳහා එල්ලා තබන ලදී.

අවසානයේ ගම්වැසියන් එක්වී පිඹුරා මස්කර, පුළුස්සා, ආහාරයට ගෙන තිබේ.

"මම පිඹුරව අල්ල ගන්න උත්සාහ කළා. ඌ මගේ අත හපා කෑවා. කොහොම හරි මම ඌත් එක්ක පොර බැදුව," යනුවෙන් රොබට් නබාබාන් ඉන්දුනීසියානු මාධ්‍යයට පැවසීය.

නමුත් තමන් එම පිඹුරා අල්ලා ගැනීමට උත්සාහ කළේ ඇයිදැයි එම ආරක්ෂක නිලධාරියා පැහැදිලිකර නැත. පිඹුරා මාර්ගය හරහා සිටීම හේතුවෙන් මිනිසුන්ට එහි ගමන් කිරීමට නොහැකි තත්වයක් පැවතුණු බව ඔහු ප්‍රකාශ කර තිබේ.

බියට පත් ගම්වාසීන් බේරා ගැනීම මෙම පුද්ගලයාගේ අවශ්‍යතාව වී ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු නමුත් තවත් මාධ්‍ය සඳහන් කර තිබුණේ ගමනාගමනය සඳහා මාර්ගය නිදහස් කිරීම ඔහුගේ අරමුණ වූ බවය.

රොබට් නබාබාන් මේවනවිට රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු පිඹුරා සමඟ පොර බදා ඇත්තේ පසුගිය සෙනසුරාදා ය. (සැප්. 30)

ඔහුගේ වම් අතට බරපතළ හානි සිදුවී ඇති බවත් ඇතැම් විට අත කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් තීරණය කළ හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වගා බිම්වල සිටින මීයන් ආහාරයට ගැනීම සඳහා පිඹුරන් වනාන්තරයෙන් පිටතට පැමිණෙන බව ගම්වාසීහු පවසති.