ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙක්" - කිම් ජොන්ග් අන්

North Korea's leader Kim Jong Un makes a statement regarding U.S. President Donald Trump's speech at the U.N. general assembly, in this undated photo released by North Korea"s Korean Central News Agency (KCNA) in Pyongyang 22 September 2017.

ඡායාරූප මූලාශ්‍රය, Reuters/KCNA

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සිය නිවේදනය නිකුත් කරන ආකාරය දැක්වෙන ඡායාරූපය එරට රජයේ මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙකු" ලෙස හැඳින්වීමත් සමග දෙරට අතර පවතින වාග් සංග්‍රාමය තවත් ඉහළ අදියරකට පැමිණ තිබේ.

විරල ආකාරයේ පෞද්ගලික නිවේදනයක් නිකුත් කරමින් කිම් ජොන්ග් අන් කියා සිටියේ උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා මෑතක කළ ප්‍රකාශය මගින් න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා තමන් ගත් තීන්දුව නිවැරදි යයි ඒත්තු ගැන්වුණු බවය.

ඇමරිකාවට සිය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට බල කෙරෙන්නේ නම් උතුරු කොරියාව සම්පුර්ණයෙන් විනාශ කර දැමීමට වුවත් පසුබට නොවන බව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතමින් ජනාධිපති ට්‍රම්ප් අඟහරුවාදා (සැප් 19) පැවසීය.

සිය දේශනය අතරතුර කිම් ජොන්ග් අන් සමච්චලයට ලක් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ "රොකට් මෑන් සිය දිවි හානි කර ගැනීමේ ගමනක නිරතව සිටින" බවය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවේ දී උතුරු කොරියාව,ඉරානය සහ වෙනිසුවෙලානු පාලන ක්‍රමයන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය

ඡායාරූප මූලාශ්‍රය, un

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමතූ ජනාධිපති ට්‍රම්ප් සිය කතාවේ දී උතුරු කොරියාව, ඉරානය සහ වෙනිසුවෙලානු පාලන ක්‍රමයන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය

මෑත මාස කිහිපය තුළ උතුරු කොරියාව සහ ඇමරිකාව උණුසුම් වාග් සංග්‍රාමයක නිරතව සිටිති.

උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදාබැලීම් සිදු කරමින් සිටින අතර ජාත්‍යන්තර විරෝධය මැද හයවන වරටත් න්‍යෂ්ටික අත්හදාබැලීමක් සිදු කළේය.

මීට ඉහතදී උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග්-හෝ, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතා ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය "සුනඛයකුගේ බිරීමකට" සමාන කළේය.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, සිය රට ශාන්තිකර සාගරයේ දී ජලතර බෝම්බයක් (Hydrogen bomb) අත්හදා බලනු ඇති බවත් ඔහු කියා සිටියේය.

"ජලතර බෝම්බයක් මගින් ශාන්තිකර සාගරයේ සිදු කරන වඩාත්ම ප්‍රබල පිපිරීම එය විය හැකියි" යනුවෙන් උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග්-හෝ උපුටා දක්වන දකුණු කොරියාවේ යොන්හැප් පුවත් සේවය වාර්තා කළේය.

කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ "නායක කිම් ජෝන් අන් නියෝග කරන තුරු මේ සම්බන්ධයෙන් කුමන ආකාරයේ ක්‍රියාමාර්ග ගනීවිදැයි යන්න පිළිබඳ අප දන්නේ නැහැ" යනුවෙනි.

දකුණු කොරියාව සහ ඇමරිකාව එක් වී කොරියානු කලාපයට ඉහළ ගුවනේ හමුදා අභ්‍යාස

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියාව සහ ඇමරිකාව එක් වී කොරියානු කලාපයට ඉහළ ගුවනේ කළ හමුදා අභ්‍යාසයක්

නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතා කළ දේශනය අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් කිහිපයක් දැඩි විවේචනයට ලක් කළේය.

ඔහු විසින් විවේචනයට ලක් කරන ලද රටවල් අතර ඉරානය ද විය.

සබැඳි යොමු:

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් කියා සිටියේ "ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය" අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව "මධ්‍යතන යුගයට" බවය.

ජනාධිපති ට්‍රම්ප්ගේ දේශනය ඔහුගේ විවේචනයට ලක් වූ රටවලට අමතරව වෙනත් රටවල් විසින් ද දැඩි විවේචනයට ලක් කරනු ලැබ ඇත.