දූෂණය කෙරුණු 13 හැවිරිදි දැරියක් සහ ගබ්සාව පිළිබඳ විවාදය

ස්ත්‍රී දූෂණය 'එපා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දූෂණයට ලක් වූ 13 හැවිරිදි දියණියගේ දරු ගැබ ගබ්සා කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමින් ඇයගේ දෙමාපියන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මුම්බායි නගරයේ වෙසෙන එම දැරියගේ දරු ගැබට මේ වන විට සති තිහක් පිරී තිබේ. ඉන්දීය නීතිය අනුව සති 20 කට වැඩි දරු ගැබක් ගබ්සා කිරීමට අවසර ලැබෙන්නේ එමගින් මවගේ ජීවිතයට අනතුරක් තිබෙන්නේ නම් පමණය.

දැරිය ගැබ් ගෙන තිබෙන බව හෙළි වී තිබෙන්නේ සිය දියණිය 'ස්ථුලභාවයට' ප්‍රතිකාර ලබාගැනීම පිණිස දෙමාපියන් වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවේය.

සිය පියාගේ මිතුරෙකු තමන් දූෂණය කළ බව එහිදී දැරිය දෙමාපියන්ට හෙළි කර තිබේ. සැකකරු දැන් අත්අඩංගුවේ පසුවේ.

දූෂණයට ලක් වූ 13 හැවිරිදි දැරියගේ දෙමාපියන් අධිකරණය වෙත එම ඉල්ලීම කර තිබෙන්නේ, සිය මාමා කෙනෙකු විසින් දූෂණය කරන ලද උතුරු ඉන්දීය චන්දිගාර් නගරයේ වෙසෙන දස හැවිරිදි දැරියක බිලිඳියක ප්‍රසූත කිරීමෙන් දින කිහිපයකට පසුවය.

A child under 16 is raped every 155 minutes, a child under 10 every 13 hours

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව තුළ සෑම විනාඩි 155 කට වරක්ම 16 වෙනි වියට අඩු දැරියක් දූෂණයට ලක් වේ

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත එම දැරියගේ දරු ගැබ ගබ්සා කිරීමට දෙමාපියන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කිරීම ලොව පුරා ජනමාධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් බවට පත්විය.

සිය සුළු පියා විසින් දූෂණය කරන ලද බව සැලකෙන හර්යානා නගරයේ වෙසෙන තවත් දස හැවිරිදි දැරියකගේ දරු ගැබ ගබ්සා කිරීමට පසුගිය මැයි මාසයේ අධිකරණයේ අනුමැතිය හිමිවිය.

ගබ්සාව සහ ශ්‍රී ලංකාව

සෞඛ්‍ය හේතූන් මත මුම්බායි නගරයේ වෙසෙන 13 හැවිරිදි දැරියගේ දරු ගැබ ගබ්සා කරන මෙන් තමන් නිර්දේශ කළ බව, ඇය පරීක්ෂා කළ මුම්බායි නගරයේ නාරි වේද විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය නිකිල් ඩටාර් බීබීසී යට පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ගබ්සාව නීතියෙන් තහනම් කර තිබෙන නමුත් නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාව තුළ දිනෙකට ගබ්සා 650 ක් පමණ සිදුවන බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

බීබීසී සිංහල ෆේස්බුක් ඔස්සේ ඔබේ අදහස්

ඡායාරූප මූලාශ්‍රය, BBC Sinhala/ Facebook

මේ අතර විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාවකට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය පළ කළේය.

එම යෝජනාවට වෛද්‍ය විශේෂඥයන් ද සහාය පළකරන නමුත් ශ්‍රී ලංකා කතෝලික සභාව එම යෝජනාව දැඩිව හෙළා දැක තිබේ.

නව යෝජනාව අනුව ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට නීතියේ අනුමැතිය හිමිවේ.

ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය ලැබිය යුතු අතර, සැත්කම සිදු කළ යුත්තේ රජයේ රෝහලකදී පමණි.

බීබීසී සිංහල ෆේස්බුක් ඔස්සේ ඔබේ අදහස්

ඡායාරූප මූලාශ්‍රය, Facebook/BBC Sinhala

කෙසේ වෙතත් "ශුද්ධවත් ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බව," ඒ පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන බොහෝ දෙනා විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාව පිළිබඳව ප්‍රසාදය පළ කර තිබුණි.

එහෙත් එයට විරුද්ධව අදහස් දක්වන්නන් නව නීතිය සම්මත වුවහොත් එය අනිසි ලෙස ක්‍රියාවට නැගීමේ හැකියාව පිළිබඳව අනතුරු අඟවා තිබුණු අතර, ප්‍රාණඝාතයට කිසිදු ලෙසකින් අවසර නොදීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබුණි.