විටමින් B3 ගැන මේ කරුණු ඔබ දැන සිටියාද?

ගැබිණි මවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

විටමින් B3 ලබාගැනීම මගින් දරු ගැබ් ගබ්සාවීම සහ ජාන විකෘති සහිත දරුවන් බිහිවීම වලක්වා ගත හැකි බව මීයන් යොදාගෙන කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ.

මෙම පර්යේෂණයේදී අදාළ සෞඛ්‍ය තත්වයන්ට හේතුව මෙන්ම එයට විසඳුම ද අනාවරණය වූ බැවින් එය ද්විත්ව ජයග්‍රහණයක් බව ද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වික්ටර් චැන් ආයතනයේ (Victor Chang Institute) පර්යේෂකයෝ පවසති.

ලොව පුරා වසරකට දරුවන් මිලියන 7.9 ක් විවිධ ජාන විකෘති සහිතව උපත ලබන බැවින් සිය පර්යේෂණයේ ප්‍රතිඵල ඉතා ඵලදායී වනු ඇති බවට ද ඔවුහු විශ්වාසය පළ කරති.

සබැඳි යොමු:

හෘදය රෝග, වකුගඩු රෝග වැනි රෝග සහිතව දරුවන් උපත ලැබූ හෝ දරු ගැබ් ගණනාවක් ගබ්සා වූ මවුවරුන් ගේ පවුල් හතරක ඩීඑන්ඒ (DNA) සාම්පල පර්යේෂකයන් විසින් සිය පර්යේෂණය සඳහා යොදා ගනු ලැබ තිබේ.

ඔවුන්ගේ ජාන දෙකක විකෘතියක් පවතින බව එහිදී හෙළි වී තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ළමා මරණ වැඩිහරියකට හේතුව හෘද රෝග

පර්යේෂණයේ ප්‍රධානී සැලී ඩන්වුඩී මහාචාර්යවරිය (Prof Sally Dunwoodie) එම ජාන විකෘතිය මීයන්ට ආදේශ කළ අවස්ථාවේ හෙළි වී තිබෙන්නේ ඔවුන්ට විටමින් බී3 ලබාදුනහොත් එම විකෘතිය සුව කළ හැකි බවය.

"රෝගයකට හේතුව සහ එයට විසඳුම දෙකම එකම පර්යේෂණයකදී සොයාගැනීම ඉතාමත් දුර්ලභ දෙයක්," මහාචාර්යවරිය කියා සිටියාය. "අනික විසඳුම හරිම සරලයි. ඒක විටමින් වර්ගයක්."

කෙසේ නමුත් විටමින් B3 ලබාගන්නා මෙන් ගර්භනී මාතාවන්ට නිර්දේශ කිරීමට තරම් තවමත් කාලය එළඹ නැති බව බර්මින්ග්හැම් විශ්ව විද්‍යාලයේ මාතෘ සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේටි මොරිස් (Dr Katie Morris) මේ අතර පෙන්වා දෙයි.

මෙම පර්යේෂණය සඳහා යොදා ගන්නා ලද විටමින් බී3 ප්‍රමාණය, ගර්භනී මවකට දිනකට ලබා දෙන විටමින් බී3 ප්‍රමාණය මෙන් දස ගුණයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.