ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'හාවි'කුණාටුව; හූස්ටන් නගරය ජලයෙන් යට වෙයි
'හාවී' කුණාටුවත් (Hurricane Harvey)සමඟ හූස්ටන් නගරයේ මහා මාර්ග ගංගා බවට පත්ව ඇතැයි ඇමෙරිකානු වාර්තා මගින් පැවසෙයි.
නොකඩවා ඇද වැටෙන ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර සමඟ පොර බදමින් සිටින 'හූස්ටන්' නගර බලධාරීන් තවත් දස දහස් සංඛ්‍යාත ජනකායකට ගේදොර හැරදා ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන් උපදෙස් දී ඇත.
ගංවතුරට ගොදුරු වූ දෙදහසක පමණ ජනතාව බේරා ගනු ලැබ සිටින අතර තවත් දහස් ගණනක් හදිසි සේවාවන්හි පිළිසරණ පතමින් තවමත් බලා සිටින බවත් එම වාර්තා මගින් පැවසෙයි.
ජලයෙන් යට වූ නිවෙස්වල වහල මත රැඳී සිටින ජනතාව ඉවත් කර ගැනීම සඳහා විස්සකට අධික හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඇත.
ලොකු කුඩා බෝට්ටු සිය ගණනක් මහජනයා බේරා ගැනීමේ මෙහෙයුමට එක්ව ඇති බව බීබීසී වාර්තාකරුවෙක් පවසයි.
අලුත්ම වාර්තා වලින් පැවසෙන ආකාරයට ජල ගැල්මත් සමඟ එක් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජනතාව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පවා සිදු විය.
මහා මාර්ග ජලයෙන් යට වී ඇති අතර සෙසු මාවත් ද රථ වාහන ධාවනයෙන් තොර වූ තත්වයක පවතී.
මෙය ටෙක්සාස් ජනපදයේ පිහිටි 'හූස්ටන්' නගරය මුහුණ දුන් දරුණුතම කුණාටුව බව නිලධාරීහු පවසති.
කාලගුණ අනාවැකි පළ කරන්නන් අදහස් දක්වමින්, සාමාන්‍යයෙන් අවුරුද්දක් තුළ ලැබෙන වැස්ස කුණාටුවත් සමඟ එක සතියක් තුළ ඇද වැටිය හැකි බවට අනතුරු අඟවා තිබිණි.
ජලයෙන් යට නොවූ නිවෙස් වලට විදුලිය බලය නොමැති අතර සියලු වෙළෙඳසැල් වසා දමනු ලැබ ඇත.
ධාවන පථය ජලයෙන් යට වී ඇති හෙයින් ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක් ද වසා තබා ඇත.
මෙක්සිකෝ බොක්ක ඔස්සේ හමා ආ 'හාවී' කුණාටුව පිළිබඳව තමන් මනාව දැනුවත් නොකළ බවට 'හූස්ටන්' වාසීන් කෝපය පළ කරන බවත් වාර්තා වෙයි.
ජල මට්ටම හදිසියේම ඉහල ගොස් ඇත්තේ රාත්‍රී කාලයේ හෙයින් මහජනයාට ඉක්මනින් පියවර ගැනීම දුෂ්කර වී ඇත.
උද්ගත වී ඇති තත්වය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා 'ටෙක්සාස්' බලා යාමට නියමිතයි.