ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආගමික භක්තියේ නාමයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ඉඩක් නැහැ-අගමැති මෝදි
ස්ත්‍රී දූෂණ චෝදනා වලට වරදකරු කෙරුණ තමා ආධ්‍යාත්මික නායක ගුර්මීත් රාම් රහීම් සිංගේ (Gurmeet Ram Rahim Singh) අනුගාමිකයෝ ඔවුන් රැඳී සිටි සිය ආගමික මූලස්ථානයෙන් පිටත්ව යාම ආරම්භ කළහ.
ගුරු ගුර්මීත් රාම් රහීම් සිං දූෂණ චෝදනාවලට වරදකරු යයි ඉන්දීය අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබීමත් සමඟ පසුගියදා පන්ච්කුලා (Panchkula) නගරයේ පැතිර ගිය ප්‍රචණ්ඩ ගැටුම් වලින් තිස්හය දෙනකු මරා දැමුණි.
2002 දී 'දෙර සාචා සවුදා' (Dera Sacha Sauda) නම් සිය නිකායේ මූලස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට ගුරු ගුර්මීත් රාම් රහීම් වැරදිකරු වන බව අධිකරණය සිකුරාදා (අගෝස්තු 25) තීන්දු කළ අතර ඒ සඳහා ඔහුට නියම කෙරෙන දඬුවම හෙට සඳුදා (අගෝස්තු 28) අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතයි.
එම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ යළිත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය හැකි බවට ඉන්දීය බලධාරීහු සැක පළ කරති.
මේ අතර සිය මාසික ගුවන්විදුලි කතාවේ දී අදහස් දැක්වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි භක්තියේ නාමයෙන් සිදු කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කළ නොහැකි බවට අනතුරු ඇඟවීමක් කළේය.
"නීතිය අතට ගැනීමට කිසිවකුට අයිතියක් නැති" බව අගමැතිවරයා සිය කතාවේදී කියා සිටියේය.
ගුරු ගුර්මීත් රාම් වැරදිකරු බවට තීන්දු කිරීමත් සමඟ පසුගියදා මුහුණ දීමට සිදු වූ ආකාරයේ ප්‍රචණ්ඩ තත්වයක් යළි උද්ගත විය හැකි බවට සැක මතු වීමත් සමඟ ආරක්ෂක හමුදා සීරුවෙන් තබා ඇති බවත් ඉන්දියානු වාර්තා මගින් පැවසෙයි.
ආගමික නායකයා නීතිය ඉදිරියේ අසරණ වීමත් සමඟ ඔහුගේ ආධාරකරුවෝ හර්යානා ප්‍රාන්තයේ 'සිර්සා' නගරයේ පිහිටි අක්කර දාහක් පමණ වූ ආශ්‍රම සංකීර්ණය තුළ රැඳී සිටියහ.
දස දහස් ගණනක් අනුගාමිකයන් එම භූමිය තුළ රැඳී හුන් බව පළමු වාර්තා මගින් ප්‍රකාශ විය.
'සිර්සා' නගරයේ ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණ ඇඳිරි නීතිය එම අනුගාමිකයන්ට ඉන් පිටව යාම සඳහා බලධාරීන් විසින් තාවකාලිකව ඉවත් කරනු ලැබ ඇත.
ගුරු ගුර්මීත් රාම්ගේ අනුගාමිකයන් ලොරි සහ කුලී රථවලට ඇතුල් වෙමින් සිටි බව සිර්සා නගරයේ පුදබිම අසල සිටින බීබීසී වාර්තාකරු ජස්ටින් රව්ලට් (Justin Rowlatt) පවසයි.
සිය ආගමික නායකයා රඳවා සිටින 'රෝතක්' නගරය බලා යන බව ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රකාශ කර ඇති අතර සිය නිවෙස් බලා යන බව සෙසු පුද්ගලයෝ බීබීසී වාර්තාකරුට ප්‍රකාශ කළහ.
එම අනුගාමිකයන්ගේ ගමනාන්තය කුමක් වුනත් ඔවුන් එකිනෙකා පුදබිම හැර යද්දී ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ ආගමික ගීතිකා ප්‍රචාරය කෙරෙමින් තිබුණි.
පනස් හැවිරිදි ගුරු ගුර්මීත් රාම් රහීම් සිං හෙට සඳුදා අඩු තරමින් වසර හතක සිර දඬුමකට යටත් කෙරෙනු ඇතැයි අනුමාන පළ වෙමින් පවතී.
ඔහු රඳවා සිටින 'රෝතක්' බන්ධනාගාරය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති හෙයින් එය බළකොටුවක මුහුණුවර ගෙන ඇත.
බන්ධනාගාරය පිහිටි භූමිය අවට කිලෝමීටර් එක හමාරක පරිධියක් මාධ්‍යවේදීන්ට තහනම් කරනු ලැබ ඇති අතර 'රෝතක්' නගරයේ මාර්ග කටු කම්බි ගසා වසා දමා ඇති බවත් යුද හමුදාව සහ පොලිසිය යොදවමින් නගරය සහමුළින්ම ආරක්ෂක අංශ අතට ගනු ලැබ ඇති බවත් බීබීසී වාර්තාකරු පවසයි.
ගුරු ගුර්මීත් රාම් රහීම් සිංට දඬුවම් නියම කෙරෙන අගෝස්තු 28 සඳුදා දිනයේ උදෑසන සියලු පාසල් සහ උසස් විදුහල් වසා දැමීමට පියවර ගෙන ඇති අතර, පසුගිය බ්‍රහස්පතින්දා 'හර්යානා' ප්‍රාන්තයේ අත්හිටුවන ලද ජංගම අන්තර්ජාල පහසුකම් තවත් පැය 48 ක කාලයක් සඳහා නැවත දීර්ඝ කරනු ලැබ ඇත.