'රයිනෝ අං’අන්තර්ජාල වෙන්දේසියක්

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියක් අනුව රයිනෝ අං වෙළෙඳාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර තහනමක් බල පැවැත්වෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියක් අනුව රයිනෝ අං වෙළෙඳාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර තහනමක් බල පැවැත්වෙයි.

'රයිනෝ අං'අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසියේ විකිණීමක් අද (අගෝස්තු 23) දකුණු අප්‍රිකාවේ දී මෙයින් ස්වල්ප වෙලාවකට පෙර ආරම්භ විය.

පරිසරවාදීන් 'රයිනෝ අං'වෙන්දේසියට විරෝධය පළ කරනු ලැබ ඇතත් සංවිධායකයෝ එම විරෝධයත් නොතකා හරිමින් ඔවුන්ගේ වැඩ පිළිවෙල පෙරට ගෙන යමින් සිටිති.

මෙවැනි වෙන්දේසි නිසා 'රයිනෝ' දඩයක්කාරයන් ඔවුන්ගේ ජාවාරම සඳහා තවත් දිරි ගැන්වීමක් ලබනු ඇතැයි පරිසරවාදීහු පෙන්වා දෙති.

රයිනෝ අං කිලෝවකින් ඩොලර් දශ ලක්ෂ ගණනක් උපයා ගත හැකි බවත් ප්‍රකාශ වෙයි.

දකුණු අප්‍රිකාවේ දී රයිනෝ අං මිලට ගත හැකි නමුත් ඒවා වෙළෙඳාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර තහනමක් බල පැවැත්වෙන හෙයින් රටින් පිට ගෙනයාම නීතියට පටහැණි ක්‍රියාවකි.

දකුණු අප්‍රිකාවේ රයිනෝ අං අන්තර්ජාල වෙන්දේසිය සංවිධානය කරනු ලබන්නේ ජෝන් හ්යුම් (John Hume) විසිනි .

ඔහුගේ සත්ව ගොවිපොළෙහි රයිනෝ ජීවීන් 1500ක් පමණ සිටින බවත් වාර්තා වෙයි.

රයිනෝ රැකබලා ගැනීම සඳහා පරිසරවාදීන් ඉදිරිපත්ව සිටිති
ඡායාරූප ශීර්ෂ වැකිය, රයිනෝ රැකබලා ගැනීම සඳහා පරිසරවාදීන් ඉදිරිපත්ව සිටිති

ජීවියා එන්නතකින් වේදනා නොදැනෙන තත්වයකට පත් කොට ඉතාම මානුෂික ආකාරයට 'රයිනෝ අං අස්වැන්න' නෙලා ගන්නා බව ජෝන් හ්යුම් (John Hume) පවසයි.

රයිනෝ අං වෙළෙඳාම තහනම් කිරීම සඳහා බටහිට රටවල් විසින් ගනු ලබන උත්සාහයත් සමඟ ඔහු එකඟ නොවෙයි.

"බටහිර මිනිස්සුන්ගේ ප්‍රශ්නය එහෙම පිටින්ම වැරදියි. රයිනෝ ජීවීන් මරා දැමීම දාස් ගාණකින් වැඩි වුනේ අපි සැපයුම නතර කළ නිසා. 2009 පෙබරවාරි වෙන තෙක් රයිනෝ අං විකිණීම දකුණු අප්‍රිකාවේ නීත්‍යානුකූලව තිබුණු බව අමතක කරන්න එපා. ඊට පස්සේ ඉල්ලුමක් තිබුණත් 'අපි ආයෙත් රයිනෝ අං විකුනන්නේ නෑ' කියල අපි සැපයුම නතර කළා. මොකද වුණේ? අවශ්‍ය මිනිස්සු මොසැම්බික් වලට ගිහින් දහස් ගණනින් රයිනෝ ජීවීන් මරා දැම්මා" ජෝන් හ්යුම් (John Hume) පවසයි.

දකුනු අප්‍රිකාවෙන් රයිනෝ අං ලබා ගැනීමට නොහැකි වූ විට ඒවා අවශ්‍ය පුද්ගලයන් මොසැම්බික් දේශයට ගොස් රයිනෝ ජීවීන් ඝාතනය කොට අඟ කපා ගන්නා බව ජෝන් හ්යුම් (HUME) පෙන්වා දෙයි.

එහෙත් දැනට තහනම් කරනු ලැබ ඇති 'රයිනෝ අං' අන්තර් ජාතික වෙළෙඳපොළ ඉහත කී අන්තර්ජාල වෙන්දේසිය මගින් යළිත් පණ ලබනු ඇතැයි ඊට එරෙහි කණ්ඩායම් පවසති.

රයිනෝ ජීවියාගේ ජීවිතය අලංකාර කරන්නෙත් මරු කැඳවන්නේත් අඟයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, රයිනෝ ජීවියාගේ ජීවිතය අලංකාර කරන්නෙත් මරු කැඳවන්නේත් අඟයි.

එසේම ,රයිනෝ ගහනය වැඩිකර ගැනීමට ගන්නා උත්සාහයට එමගින් අහිතකර බලපෑමක් ඇතිවිය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.