මැදපෙරදිග: සෞදි කටාර් ඉහළ හමුවක්

කටාර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මක්කම හජ් වන්දනා කිරීම සඳහා කටාර්හි මුස්ලිම් බැතිමතුන්ට අවස්ථාව සලසමින් සෞදි අරාබිය සිය දේශ සීමා විවෘත කරනු ඇති බව ඩෝහා පාලනය තහවුරු කරයි.

කටාර්හි පාලන බලය හිමි රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සමග සෞදි අරාබිය සාකච්ඡාවක් පවත්වා තිබේ.

කටාර් පුරවැසියන්ට සිය රටට ඇතුළු වීමට අවස්ථාව ලබා දෙමින් සෞදි අරාබිය සිය දේශ සීමා විවෘත කිරීමට එකඟත්වය පළ කර ඇත්තේ ඉන් අනතුරුවය.

සෞදිය ඇතුළු සෙසු අරාබි රටවල් කටාර් සමග පැවති සබඳතා අත්හිටුවීමෙන් පසු දෙරට අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වුන පළමු අවස්ථාව මෙයයි.

ත්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් සෞදිය ඇතුළු අරාබි රටවල් කටාර් රාජ්‍යය සමග පැවති රාජ්‍යය තාන්ත්‍රික සහ වෙළඳ සබඳතා අත්හිටුවීමට පසුගිය ජුනි මස ආරම්භයේ කටයුතු කළහ.

කටාර් රාජ්‍යය එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.

හජ් වන්දනාව

Pilgrims at the Hajj in Mecca

ඡායාරූප මූලාශ්‍රය, EPA

හජ් වන්දනාවේ යෙදීමට බලාපොරොත්තු වන කටාර් පුරවැසියන්ට සල්වා දේශසීමාව ඔස්සේ සෞදි අරාබියට ඇතුළු වීම සඳහා ඉලෙක්ට්‍රොනික බලපත්‍රයක් අවශ්‍ය නොකරන බව සෞදි නිල පුවත් ආයතනය නිවේදනය කළේය.

එමෙන්ම කටාර් වන්දනාකරුවන් සිය ගුවන් තොටුපළවල් විසින් පිළිගනු ලබනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

line
line

ස්වීඩනයේ සංචාරයක නිරත කටාර්හි විදේශ අමාත්‍ය ෂේක් මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි බ්‍රහස්පතින්දා අදහස් දක්වමින් ඒ බව තහවුරු කළේය.

ඒ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන නමුත් සිය රටට සම්බාධක පැනවීම සහ වත්මන් ක්‍රියාමාර්ගය යන දෙකම විදේශ ඇමතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ "දේශපාලන උවමනාවන්" මත සිදු වූවක් ලෙසය.

"දේශපාලන උවමනාවන්"

කටාර්

සෞදිය ඇතුළු අරාබි රටවල් විසින් පනවන ලද වෙළඳ සම්බාධකවලට එරෙහිව කටාර් රාජ්‍යය පසුගියදා ලෝක වෙළඳ සංවිධානයට (World Trade Organization) නිල වශයෙන් පැමිණිලි කළේය.

කටාර්හි ආර්ථික සහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය ෂේක් අහ්මඩ් බින් ජසෙම් බින් මොහම්මද් අල් තානි කියා සිටියේ සෞදිය ඇතුළු අසල්වැසි රාජ්‍යයන් විසින් සිය රට වෙත වෙළඳ සම්බාධක පනවනු ලැබීම පැහැදිලි ලෙසම අන්තර්ජාතික වෙළඳ නීතිය උල්ලංඝනය කිරීමක් බවය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සඳහා සෞදි අරාබිය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට දින 60 කාලයක් ලැබේ.

line
line

මේ අතර සෞදිය ඇතුළු අරාබි රටවල් විසින් සම්බාධක පනවනු ලැබීමත් සමග කටාර්හි ආහාර හිඟයක් ඇති වෙතැයි බිය පළ විය.

එවැනි පසුබිමක කිරි නිෂ්පාදන, එළවලු සහ පළතුරු කටාර් වෙත ගුවන් මාර්ගයෙන් ගෙන ඒමට තුර්කිය කටයුතු කළේය.

ශ්‍රී ලාංකිකයන්

Supermarket in Doha

ඡායාරූප මූලාශ්‍රය, EPA

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

කටාර්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයෙකු වන මසූමි මොහොමඩ් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වෙළඳසල් තුළ ආහාර හිඟයක් නොමැති බවය.

ඇතැම් භාණ්ඩවල මිල තරමක් ඉහළ ගොස් තිබුණ ද මේ වනවිට ඒවායේ මිල සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ඔහු පැවසීය.

එහෙත් පෙර පැවතියාට වඩා භාණ්ඩවල විවිධත්වයෙහි සහ කාඩ්බෝඩ් ඇසුරුම්වල පැමිණෙන පළතුරු යුෂවල තරමක අඩුවක් දක්නට ඇති බව මසූමි මොහොමඩ් වැඩිදුරටත් සඳහන් කළේය.

කටාර්හි පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු වශයෙන් සේවයේ නිරත නම හෙළි කිරීමට අකමැති වූ ශ්‍රී ලාංකිකයෙකු කියා සිටියේ ද ආහාර හිඟයක් නැතත් භාණ්ඩවල විවිධත්වයෙහි යම් කිසි අඩුවක් දක්නට ඇති බවය.

නමුත් මේ වනවිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් වැඩි දෙනෙකු නිවාඩු ගොස් සිටින බැවින් ඔවුන් යළි පැමිණෙන තෙක් ආහාර සැපයුම් සම්බන්ධයෙන් නිසි නිගමනයකට ඒමට නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

line

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]