ට්‍රම්ප් ශීතල යුද්ධයකට අත වනන බවට කියුබාවෙන් චෝදනාවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ශීතල යුද්ධයකට අත වනන බවට කියුබාව චෝදනා කරයි.

දෙරට අතර පළුදුව පැවති සම්බන්ධතා යළි ගොඩ නගා ගැනීම සඳහා පසුගිය කාලය තුළ ඇතිකර ගන්නා ලද එකඟතා අර්ධ වශයෙන් අකුලා ගැනීමක් පිළිබඳව ඇමෙරිකානු නායකයා විසින් කරන ලද ප්‍රකාශන මගින් යළිත් ගැටුම්කාරී තත්වයක් උද්ගත වෙන බව කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ පෙන්වා දෙයි.

පසුගිය ජූනි මාසයේ ප්‍රකාශයක් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "කස්ත්‍රෝගේ ආණ්ඩුව කෘර ම්ලේච්ඡ පාලනයක්" හැටියට විග්‍රහ කළේය.

කියුබාවට යන ඇමෙරිකානුවන් පාලනය සඳහා නීති දැඩි කරන ලෙසත් කියුබානු හමුදාව සමඟ ඇතිකර ගන්නා ව්‍යාපාරික ගනුදෙනු අඩාල කරන ලෙසත් ජනාධිපති ට්‍රම්ප් නියෝග කර ඇත.

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමින් 'හවානා' පාර්ලිමේන්තුව ඉදිරියේ අදහස් දැක්වූ ජනාධිපති රාවුල් කස්ත්‍රෝ, එම ක්‍රියාමාර්ග නිසා දෙරට අතර ගොඩ නැගෙමින් පවතින ද්විපාර්ශ්වීය සබඳතාවල පසුබෑමක් ඇතිවෙන බව පෙන්වා දුන්නේය.

එහෙත් වොෂිංටන් බලධාරීන් සමඟ සංවාදය දිගටම පෙරට ගෙන යාමට කියුබාව සූදානම් බවත් ජනාධිපති රාවුල් කස්ත්‍රෝ පවසයි.

බිඳවැටී තිබුණ කියුබානු - ඇමෙරිකානු සබඳතා යළි පණ ලැබීම ආරම්භ කෙරුණේ ජනාධිපති බරක් ඔබාමාගේ පරිපාලනය තුළයි.

එම සබඳතා ශක්තිමත් කිරීමේ උවමනාව සංකේතවත් කරමින් ජනාධිපති ඔබාමා සිය පවුලේ සාමාජිකයන්ද කැටුව හවානා නගරයේ සංචාරයක නිරත විය.

1928 දී ජනාධිපති කැල්වින් කූලිජ් (Calvin Coolidge) ගෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයෙක් කියුබාවේ සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව එය විය.

එම සංචාරයෙන් අනතුරුව දෙරට අතර තානාපති සබඳතා ආරම්භ වූ අතර අඩ සියවසකට පමණ පසු ඇමෙරිකානු ධජය හවානා නගරයේත් කියුබානු ධජය වොෂින්ටනයේත් යළි ඔසවනු ලැබුණි.

එහෙත් බරක් ඔබාමා පරිපාලනය විසින් ළිහිල් කරන ලද කලින් බල පැවැත්වුන වෙළෙඳ සහ සංචාරක තහංචි යළි බල පැවැත්විය යුතුයයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීන්දු කරනු ලැබීම කියුබානු ආණ්ඩුවේ හෙළා දැකීමට ලක්වෙයි.

ජනාධිපති ට්‍රම්ප් කියුබාවට එරෙහිව ඇතැම් සම්බාධක යළි පනවන බව ප්‍රකාශයට පත් කරන ලද්දේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙසෙන කියුබානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන් අමතා අදහස් දක්වමිනි.

කියුබාවේ "මානව හිමිකම් තත්වය සැලකිල්ලට ගනිමින්" තමා එම පියවර ගන්නා බව පවසමින් ජනාධිපති ට්‍රම්ප් සිය තීරණය යුක්ති සහගත කිරීමක් ද සිදු කළේය.

තමන් අතර පවතින විෂමතාවයන්ට ගරු කරන අතරම, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර ශිෂ්ඨ සම්පන්න සම්බන්ධතා ඇති කර ගත යුතුය යන්න කියුබාවේ ජනාධිපති රාවුල් කස්ත්‍රෝ දරන ස්ථාවරයයි.

සිය රටේ පාලනාධිකාරිය වෙනස් කළ යුතු බවට කෙරෙන ඉල්ලීම එක්සත් ජනපදය විසින් අත්හැර දැමිය යුතුබවත් ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අවධාරණය කරයි.

ඇමරිකාව සහ කියුබාව අතර තානාපති සබඳතා ආරම්භ වී වසරක් ගත වීමෙන් පසු දෙරට අතර ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමේ එකඟත්වයක් ද ඇතිව තිබුණි.

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමේ පටන් එම ගමන් මාර්ගයේ වෙනසක් සිදු වෙමින් පවතී.