"අපේ හාමුදුරුවො අපට දෙන්න"

කෞතුක භාණ්ඩ එක්රැස් කරන ඕලන්ද ජාතිකයකු විසින් සොරකම් කරන ලදැයි පැවසෙන භික්ෂු මමියක්(mummy) තැන්පත් බුදු පිළිමයක් ආපසු ලබා ගැනීම සඳහා චීනයේ ගම්වාසීන් කණ්ඩායමක් නඩු මගට බැස සිටිති.

චීනයේ 'යැන්ග්චුන්ග්'(Yangchun) ප්‍රාන්තයේ කුඩා ගම්මානයක පිහිටි පන්සලක තිබුණ භික්ෂු මමිය ඇතුළත් වසර දහසක් පමණ පැරණි තම බුදු පිළිමය 1995 වසරේ ඕලන්ද ජාතිකයකු අතට පත්ව ඇතිබව එම ගම්වාසීහු කියා සිටිති.

ගම්වාසීන් පවසන ආකාරයට ඕලන්ද ජාතිකයා 1996 වසරේ හොංකොන් දූපතේ දී එම පිළිමය මිළට ගනු ලැබ ඇත.

2015 වසරේ හංගේරියාවේ 'බුඩාපෙස්ට්' අගනුවර පැවැත්වුන ප්‍රදර්ශනයකට ඉදිරිපත් කෙරෙන තෙක් මමිය ඇතුළත් පිළිමයට සිදු වූ දෙයක් දැන ගන්නට නොහැකිව තිබුණි.

පිළිම ප්‍රදර්ශනයක්

චීන ගම්වැසියන් එම පිළිමය තමන්ට භාරදෙන ලෙස ඉල්ලා සිටින්නේ සියරටින් සොරකම් කරන ලද කෞතුක භාණ්ඩ ආපසු ලබා ගැනීම සඳහා බේජිං බලධාරීන් මෑත අවුරුදුවල පටන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අතරයි.

එහෙත් පිළිමය ආපසු ලබා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ මෙතෙක් ගනු ලැබ ඇති උත්සාහය මගින් සාර්ථක ප්‍රතිපලයක් ලැබී නොමැත.

අදාළ පිළිමය චීනයෙන් ගෙන ගිය ඔස්කාර් වෑන් ඔව්රීම් (Oscar van Overeem ) නමැති ඕලන්ද ජාතිකයා එම පිළිමය වෙනත් බෞද්ධ කෞතුක භාණ්ඩ කීපයක් සඳහා 2015 වසරේ දී තවත් කෞතුක භාණ්ඩ එකතු කරන්නකු සමඟ හුවමාරු කරගෙන ඇති අතර එම දෙවැනි ගනුදෙනුකරුගේ අනන්‍යතාව මෙතෙක් රහසක්ව පවතී.

එසේම පිළිමය දැනට ඇති තැනක් ද දැන ගන්නට නොමැත.

'ෂැංන්ගොන්ග් ආගමික නායකයා'

'ෂැංන්ගොන්ග් ආගමික නායකයා' (Zhanggong Patriarch ) යනුවෙන් බැතිමතුන් විසින් හඳුන්වනු ලබන අතුරුදහන්ව ඇති බුදු පිළිමය 'යැන්ග්චුන්ග්'(Yangchun) ප්‍රාන්තයේ කුඩා ගම්මානයේ පන්සලක සියවස් ගණනක් තැන්පත් කර තිබියදී එය එම ගම්වාසීන්ගේ පමණක් නොව අසල්වැසි 'ඩොන්ග්පු' (Dongpu ) ගම්වැසියන්ගේ ද පුද පූජාවන් ලබා ඇත.

බෞද්ධ බැතිමතුන් භික්ෂු මමිය ඇතුළත් බුදු පිළිමය ඔවුන්ගේ නිවෙස් තුළ සඟවා තබා ගනිමින් ආරක්ෂා කිරීමේ ඉතිහාසයක් ඇති අතර 1960 -70 දශකයන්හි 'චීන සංස්කෘතික විප්ලවය' පෙරට යමින් තිබුණ අවධියේ ඔවුන් එය කුඹුරක වළලා රැකගෙන ඇතිබව 'සවුත් චෛනා මෝර්නින් පෝස්ට්' ( South China Morning Post) පුවත්පත වාර්තා කරයි.

බුදු පිළිමය තුළ 'භික්ෂු මමියක්' ඇතිබව දැනගෙන ඇත්තේ මෙයින් අවුරුදු කීපයකට පෙර සිදු කරන ලද ස්කෑන් (SCAN) පරීක්ෂණයකිනි.

එසේම එය වසර දහසක් පමණ පැරණි පිළිමයක් වන බවත් විශ්වාසයයි.

සිය ප්‍රජාව එම භික්ෂුවගෙන් පැවත එන්නන් බව ඔප්පු කිරීමට ගම්වාසීන් සමත්ව සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා AFP පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණි.

ඕලන්ද නීතිය

"මළ සිරුරක් දැනුවත්ව ළඟ තබා ගැනීමට පුද්ගලයකුට අවසරයක් නොමැත" යන ඕලන්ද නෛතික සිද්ධාන්තය යටතේ චීන ගම්වාසීන් සිය නඩුකරය පෙරට ගෙනයමින් ඇති බවත් නීතිවේදියා සඳහන් කරයි.

"ඕලන්ද ජාතිකයා සතු පිළිමය චීන පන්සලෙන් සොරකම් කරන ලද පිළිමය වන බවට අපට ප්‍රමාණවත් සාක්ෂි තියෙනව" නීතිවේදියා වැඩිදුරටත් සඳහන් කළේය.

පිළිමය ආපසු ඉල්ලා සිටිමින් චීන ගම්වාසීන් නඩුවක් ගොනු කරනු ලැබ තිබෙන්නේ ඕලන්ද උසාවියකයි.

එහෙත් චීන දෙපොළක් මුල්කර ගත් එම නඩුකරයට ඕලන්ද නීතිය අනුව නෛතික වලංගුභාවයක් නොමැති බව පිළිමය ගෙන ආ ඕලන්ද ජාතිකයා කියා සිටින බව චීන රාජ්‍ය පුවත් සේවාව වාර්තා කරයි.