උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා"

"අවශ්‍යම වේ නම්" උතුරු කොරියාව සම්බන්ධයෙන් "සැළකිය යුතු මට්ටමින්" හමුදා බලය භාවිත කරනු ඇති බව ඇමරිකාව පවසයි.

එක්සත් ජාතීන් සම්බන්ධයෙන් කටයුතු කරන ඇමරිකානු තානාපතිනි නිකී හේලි ඒ බව කියා සිටියේ අඟහරුවාදා (ජුලි 04) උතුරු කොරියාව විසින් සිදු කරන ලද නවතම දුර විහිදුම් මිසයිල අත්හදා බැලීම පිළිබඳ අදහස් දක්වමිනි.

එමෙන්ම ප්යොංයැං පාලනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත අලුතින් යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවත් ඇය අවධාරණය කරන්නීය.

උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම ඇය විසින් විග්‍රහ කරනු ලැබුවේ යුදමය ක්‍රියාකාරකම් ත්‍රිව්ර කිරීමක් ලෙසය.

වසර ගණනාවක් පුරා ප්යොංයැං පාලනය වෙත පනවන ලද ආර්ථික සම්බාධක ප්‍රමාණවත් නොවන බවත් තානාපතිනිය කියා සිටියාය.

ඇය අදහස් පළ කර පැය කිහිපයක් ගත වෙත්ම ඇමරිකානු සහ දකුණු කොරියානු හමුදා එක්ව මිසයිල අභ්‍යාසයක යෙදුනහ.

චීනය සහ රුසියාව

ඇමරිකාව, උතුරු කොරියාව සම්බන්ධයෙන් අනුගමනය කරන "සතුරු පිළිවෙත" නිම නොකරන්නේ නම් තමන් සාකච්ඡා මේසයට නොපැමිණෙන බව ප්යොංයැං පාලනය අවධාරණය කරයි.

උතුරු කොරියාවට එරෙහිව හමුදා බලය යොදා ගැනීම සම්බන්ධයෙන් චීනය සහ රුසියාව ද සිය විරෝධය පළ කර සිටිති.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තහනම නොතකා උතුරු කොරියාව පසුගිය කාලය තුළ මිසයිල අත්හදා බැලීම් ගණනාවක් සිදු කළේය.

ජපානයේ ආරක්ෂාව

ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ටොමොමි ඉනාදා විසින් උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම හඳුන්වනු ලැබුවේ "අනුමත කළ නොහැකි කුපිතකාරී ක්‍රියාවක්" ලෙසය.

අලුතින් අත්හදා බලන ලද හ්වාසොං 14 වර්ගයේ අන්තර් මහද්වීපික මිසයිලය කිලෝමීටර 2,802 ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී කිලෝමීටර 933 ක් ඈතින් පිහිටි ජපාන මුහුදේ වූ ඉලක්කයකට පතිත වූ බව උතුරු කොරියාව අඟහරුවාදා පැවසීය.

ඇමරිකාව ජපානයේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින බව ආරක්ෂක ලේකම් ජිම් මැටිස් අවධාරණය කළේය.

එකඟතාවකට

මේ අතර එක්සත් ජාතීන් සම්බන්ධයෙන් කටයුතු කරන චීන තානාපතිවරයා ආරක්ෂක මණ්ඩල හදිසි රැස්වීම අමතමින් පවසා තිබුණේ උතුරු කොරියාවට එරෙහිව හමුදා බලය යෙදෙවීම විකල්පයක් නොවන බවය.

දකුණු කොරියාව සහ ඇමරිකාව යුද අභ්‍යාස සිදු කිරීම අත්හිටුවීමත් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීමත් මත පදනම්ව සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස චීනය සහ රුසියාව ඉල්ලා සිටිති.