ඇමෙරිකාව, ද. කොරියාවට 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතිය යොමු කරයි

අර්බුදයට ලක්වී ඇති මිසයිල ආරක්ෂණ පද්ධතියේ පළමු කොටස දකුණු කොරියාවට යැවීම ඇරඹු බව ඇමෙරිකාව පවසයි.

'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) නමින් හැඳින්වෙන එම විශේෂ මිසයිල ආරක්ෂණ පද්ධතිය නිමවුණේ උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි යැයි සැළකුණු තර්ජනවලින් ආරක්ෂාවීමේ පියවරක් ලෙසිනි.

ඒ අනුව, අදාළ මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට පියවර ගැනුණේ, ජ්‍යාත්‍යන්තර සම්බාධක බිඳ දමමින් උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල 4ක් මුදා හැරීමෙන් දිනකට පසුවය.

එහෙත්, මෙම ඇමෙරිකා-දකුණු කොරියා වැඩපිළිවෙල චීනයේ ද විරෝධය එල්ලවී තිබේ. එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගෙන්ග් ශුආන් පැවසුවේ අදාළ මිසයිල පද්ධතිය යොමුකිරීමේ පියවරට දැඩි විරෝධය පළකරන බවය.

දකුණු කොරියානු යෝන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වූ පරිදි එරට හමුදා නිලධාරියකු පැවසුවේ "ලබන අප්‍රේල් තරම් නුදුරේදීම" මිසයිල ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන බවකි.

'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) යනු කුමක්ද ?

  • කෙටි හා මැදි දුර මිසයිල පියාසර ගමනේ අවසන් අදියරට පැමිණෙද්දී ඉලක්කයට ළඟාවීමට පෙර බිම හෙලීම
  • ඉදිරියට එන යුද ශීර්ෂය චාලක බලයෙන් විනාශ කරයි
  • කි.මී. 200ක දුරක් විදිය හැකි අතර කි.මී.150ක උසකට ළඟාවිය හැකිය.
  • උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි තර්ජන සළකා ගුවාම් සහ හවායි හි මීට පෙර ඇමෙරිකාව විසින් ස්ථානගත කරන ලදී

1. සතුරු මිසයිලය විදීම

2. 'තාඩ්' රේඩාර් පද්ධතිය විසින් නිරීක්ෂණයකොට, අණ සහ පාලන ස්ථානයට යොමු කිරීම

3. ප්‍රති මිසයිලයක් විදීම සඳහා 'තාඩ්' අණ සහ පාලන ස්ථානයෙන් උපදෙස් දීම

4. ප්‍රති මිසයිලය සතුරු මිසයිලය දෙසට විදීම

5. සතුරු මිසයිලය විනාශ කිරීම

මිසයිල විදින ට්‍රක් රථයකට ප්‍රති මිසයිල 8ක් දරා සිටිය හැක.

'තාඩ්' මතභේදයකට ලක්වී ඇත්තේ ඇයි?

බොහෝ දකුණු කොරියානුවන්ගේ අදහස වී තිබෙන්නේ මෙම මිසයිල ආරක්ෂණ පද්ධතිය ඉලක්කයක් වීම හේතුවෙන් හමුදා ස්ථානගතවීම් අවට ජීවත්වන සාමාන්‍ය ජනතාව අනතුරට මුහුණ දිය හැකි බවය.

මෙයට විරෝධය දක්වන්නන් උද්ඝෝෂණ රැසක් ගෙනගිය අතර, 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථානගත කිරීම සඳහා හඳුනාගනු ලැබ තිබු ගිනිකොන දිග ෂෙඔන්ජු ප්‍රදේශයේ ජනතාව ඊට කෝපය පළකළේ සිය හිස මුඩු කරමිනි.

මෙම මිසයිල ආරක්ෂණ පද්ධතියේ රාඩාර් සංඥා සිය රටවල් තුලට ද ඇතුල්විය හැකියි පවසමින් චීනය හා රුසියාව යන රටවල් ද එම මිසයිල ආරක්ෂණ පද්ධතිය යොමු කිරීම සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කළහ. මෙම පද්ධතිය කොරියානු අර්ධද්වීපයේ ආරක්ෂක අවශ්‍යතාවලට "වඩා ඔබ්බට" යන බව පසුගිය වසරේදී පැවසූ චීන විදේශ අමාත්‍යවරයා, එය ඍජුවම චීනයේ "උපායමාර්ගික ආරක්ෂක අභිලාෂයන්" කෙරෙහි බලපාන බව සඳහන් කළේය.