ට්‍රම්ප් පාලනය : තවත් ප්‍රධානියෙක් විසිවේද ?

රොබර්ට් මලර් සවිමත් විමර්ශන කණ්ඩායමක් ගොඩනගමින් සිටී

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රොබර්ට් මලර් සවිමත් විමර්ශන කණ්ඩායමක් ගොඩනගමින් සිටී

පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී සිදුවී යැයි පැවසෙන රුසියානු මැදිහත්වීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන විමර්ශන අධීක්ෂණයේ යෙදෙන විශේෂ නීතිඥයා ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අවධානය යොමු වී ඇති බව ඔහුගේ සමීප මිතුරකු පැවසීය.

රොබර්ට් මලර් නම්වූ එම නීතිඥයාගේ විශ්වසනීයත්වය මෑතදී දෝෂ දර්ශනයට ලක් කළ ඇතැම් ගතානුගතික ට්‍රම්ප් හිතවාදීහු, ඔහුගේ කාර්ය භාරය සම්බන්ධයෙන් යළි සිතා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

"විශේෂ නීතිඥයා ඉවත් කිරීම" ගැන ට්‍රම්ප් අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයාගේ දිගු කාලීන සගයකුවන ක්‍රිස්ටෝෆර් රඩී පැවසුවද, ධවල මන්දිරය කියා සිටින්නේ ජනාධිපතිවරයා මෙම කරුණ රඩී සමග සාකච්ඡා කර නැති බවය.

line
line

නියෝජ්‍ය නීතිපති රොඩ් රොසෙන්ටයින් විසින් අදාළ විමර්ශන අධීක්ෂණයට පත්කරන ලද රොබර්ට් මලර්, එම කටයුතු සඳහා සිය කණ්ඩායම තෝරමින් සිටින අතර එහි වැඩි දෙනා අපරාධ නීතිය පිළිබඳ විශේෂඥයින්ය.

යම් හෙයකින් මලර් ඉවත් කිරීමට පියවර ගතහොත්, එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමී එම තනතුරින් පහකිරීම නිසා දැනටමත් දැඩි පීඩනයකට ලක්ව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යළි විවේචන එල්ලවනු ඇත.

එෆ්බීඅයි අධ්‍යක්ෂ තනතුරෙන් කොමී පහකිරීම නිසා ට්‍රම්ප් වෙත එල්ලවූ විවේචනවලින් කියවුනේ ඔහු විමර්ශනවලට බාධාකරන්නට ඇති බවකි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එෆ්බීඅයි අධ්‍යක්ෂ තනතුරෙන් කොමී පහකිරීම නිසා ට්‍රම්ප් වෙත එල්ලවූ විවේචනවලින් කියවුනේ ඔහු විමර්ශනවලට බාධාකරන්නට ඇති බවකි

අසුබ නිමිත්තක්

නීතිඥ මලර් ද අදාළ විමර්ශන කටයුතුවල අධීක්ෂණයට පත් කෙරුනේ එෆ්බීඅයි අධ්‍යක්ෂවරයා පහ කිරීමෙන් අනතුරුව එවැනි විමර්ශනයක් අවශ්‍ය බවට මතු වූ ඉල්ලීම් හමුවේය.

මෑතදී රොබර්ට් මලර් විමර්ශනය ආශ්‍රයෙන් නිකුත්වූ ප්‍රකාශ ට්‍රම්ප් පරිපාලනයට ඇති ගැටලු සම්බන්ධයෙන් දැකිය හැකි අසුබ නිමිත්තක් ලෙස සැළකේ.

මේ වනවිට ක්‍රියාත්මකවන විමර්ශනය ජනාධිපතිවරණ සටනෙන් පරාජය වීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාර්ශ්වය ඉදිරිපත්කරන නිදහසට කරුණක් සේම "තමන් කොටුකරගැනීමේ" පියවරක් ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. එසේ වුවද, රොබර්ට් මලර් ගේ හැසිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔහු ජනාධිපතිවරයාගේ අදහස නොදරන බවකි.

සවිමත් කණ්ඩායමක්

දිගු කාලීන වැඩපිළිවෙලක් සඳහා ක්‍රියාත්මක වී සිටින රොබර්ට් මලර් , විමර්ශන නඩු විභාගයක් කරා ගෙනයාමටත්, අවශ්‍යනම් අදාළ පුද්ගලයින් සිරගතකිරීමටත් අවශ්‍ය හැකියාව සහ අත්දැකීම ඇති කණ්ඩායමක් ඒකරාශී කරමින් සිටී.

මේ වනතුරු ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය විවේචනය එල්ල කර ඇත්තේ හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමී වෙත පමණි. එය රොබර්ට් මලර් වෙත ද යොමු වනු ඇත්දැයි පැවසීමට තවමත් කළ වැඩිය.

රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් යන දෙපාර්ශවයේම අගය කිරීම මැද මලර් පත් කෙරුනද, ඇතැම් ගතානුගතික ට්‍රම්ප් හිතවාදීන් පවසන්නේ ජනාධිපතිවරයා මලර් අදාළ කාර්යයෙන් පහකළ යුතු බවය.