මැතිවරණ ප්‍රතිපලය 'බ්‍රෙක්සිට්' ක්‍රියාවලියට බලපාන හැටි

ඊයේ (ජූනි 08), පැවැත්වුනු පාර්ලිමේන්තු මැතිවරණය මගින් අස්ථාවර ආණ්ඩුවක් බලයට පත්වීම නිසා මහා බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත්වීමේ ක්‍රියාවලිය (Brexit) ව්‍යාකූල විය හැකි බවට යුරෝපයේ දේශපාලනඥයෝ මැසිවිලි නගති.

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත්වීම පිළිබඳ සාකච්ඡා තවත් දින දහයකින් ආරම්භ වීමට නියමිතය.

මේ අතර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අනතුරුව ප්‍රකාශයක් කළ යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඩ් යුන්කර්(Jean-Claude Juncker) යුරෝපා හවුල සාකච්ඡා සඳහා දැඩි උනන්දුවෙන් පසුවෙන බවත් එම සාකච්ඡා ආරම්භ කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් සූදානමින් සිටිනු ඇතැයි තමා තරයේ බලාපොරොත්තු තබන බවත් සඳහන් කළේය.

"සාකච්ඡා සඳහා නියමිත කාලය ගෙවී යමින් පවතිනවා.අපට අවුරුදු දෙකක් තියෙනව"ෂෝන් ක්ලෝඩ් යුන්කර් පවසයි.

යුරෝපා හවුලේ විදේශ සබඳතා අංශයේ ප්‍රධානී ෆෙඩ්රිකා මොඝෙරිනි(Federica Mogherini) අදහස් දක්වමින්, බ්‍රිතාන්‍යයේ ඉවත්වීම තීන්දු කෙරුණ ජනමත විචාරණය පවත්වා වසරක් ගෙවී ඇතත් වෙස්ට්මින්ස්ටර් පාලනයේ ස්ථාවරය කුමක්ද යන්න යුරෝපා හවුල තවමත් නොදන්නා බව කියා සිටියාය.

බ්‍රිතාන්‍යය සූදානම් ඕනෑම මොහොතක සාකච්ඡා ආරම්භ කරන බව යුරෝපා හවුලේ සාකච්ඡා මණ්ඩලයේ ප්‍රධානී මිචෙල් බාර්නි(Michel Barnier) පවසයි.

එහෙත් එම "සාකච්ඡා දෑවුරුදු කාලයකට සීමා වෙන" බව ඔහු අවධාරණය කළේය.

මෙම මැතිවරණයත් සමඟ අගමැතිනි තෙරේසා මේ (Theresa May) විසින් අනුගමනය කරනු ලබන යුරෝපා විරෝධී දැඩි ආකල්පයේ අවසානය සනිටුහන් වූ බව ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායක මාර්ටින් ෂූල්ස් (Martin Schulz)පවසයි.

එහෙත් දුර්වල පාර්ශ්වකරුවකු සමඟ කරනු ලබන සාකච්ඡා මගින් තත්ත්වය තවත් නරක අතට හැරීමට ඉඩකඩ ඇතිබව යුරෝපා හවුලේ අයවැය භාර කොමසාරිස් ගන්ත්‍රේ ච්යෝටින්ගර් (Guenther Oettinger) පෙන්වා දෙයි.