ඩොනල්ඩ් ට්‍රම්ප් පලස්තීනයේ

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පලස්තීන නායක මහ්මුද් අබ්බාස් සමඟ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පලස්තීන නායක මහ්මුද් අබ්බාස් සමඟ

මැදපෙරදිග සංචාරයක නිරතවී සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පලස්තීන නායක මහ්මුද් අබ්බාස් හමුවෙයි.

මෙත්ලෙහෙමේ දී සිදුවූ මෙම හමුව "ප්‍රයෝජනවත් සහ ඵලදායී" වනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සාම ගිවිසුමක් කරා යාම ඉතා අපහසු ගනුදෙනුවක් වුවත් එය ඉදිරියේ දී සිදුවනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළ කළේය.

එවැනි ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දුන්ණේය.

ඊශ්‍රායල් සොල්දාදුවන් සිටින දෙසට ගල් මුල්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල් සොල්දාදුවන් සිටින දෙසට ගල් මුල්

නමුත් ඔහුගේ පලස්තීන සංචාරයට එරෙහිව ගාසා තීරයේ සහ බටහිර තීරයේ විරෝධතා දියත් විය.

අද (මැයි 23) සවස් භාගයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජෙරුසලමට යාමට නියමිතය.

එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව සිදුකෙරෙන ඔහුගේ ප්‍රථම විදෙස් සංචාරය තුළ ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ සංචාරය කිරීමට දින දෙකක් වෙන්කර තිබුණි.

ජනාධිපති ට්‍රම්ප් මැදපෙරදිග රැඳී සිටින අවසන් දිනය අද වන අතර ඔහු සිසිලියට සහ වතිකානයට යාමට නියමිතය.

ගාසා තීරයේ සහ බටහිර තීරයේ විරෝධතා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා තීරයේ සහ බටහිර තීරයේ විරෝධතා

පසුගිය අඩසියවසක කාලයක් පුරා බටහිර තීරයේ සහ නැගෙනහිර ජෙරුසලමේ ජනාවාස තනා ඊශ්‍රායලය විසින් එම කලාපය අත්පත්කර ගනු ලැබ ඇත.

ඇතැම් ඊශ්‍රායල් බලධාරීන් විශ්වාස කරන්නේ එම කලාපය දෙවියන් විසින් යුදෙව්වන්ට ලබාදුන් භූමියක් බවය.

පලස්තීන වැසියෝ ෆාටා සංවිධානය සහ ඉස්ලාමීය හමාස් සංවිධානය යටතේ දේශපාලන වශයෙන් බෙදී වෙන්වී සිටිති.

පලස්තීනයේ බටහිර තීරය ෆාටා සංවිධානය විසින් පාලනය කරනු ලබන අතර ගාසා තීරයේ බලය තහවුරු කරගනු ලැබ සිටින්නේ හමාස් සංවිධානය විසිනි.

ජනාධිපති ට්‍රම්ප් පලස්තීනයට පැමිණීමට පෙර ඊයේ දිනයේදී ද බටහිර තීරයේ උද්ඝෝෂණ දියත් විය.

පලස්තීන තරුණයන් සිය ගණනක් වීදි බැස ඊශ්‍රායල් සොල්දාදුවන් සිටින දෙසට ගල් මුල් විසි කරන්නට පටන් ගත් අතර ඊශ්‍රායල් සොල්දාදුවෝ කඳුළු ගෑස් සග රබර් උන්ඩ ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ.