සයිබර් ප්‍රහාරය: "තවත් එකක් එනවා, හෙට විය හැකියි"

"තවත් එකක් එනවා....බොහෝවිට සඳුදා (මැයි 15) විය හැකියි"

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, "තවත් එකක් එනවා....බොහෝවිට සඳුදා (මැයි 15) විය හැකියි"

තවත් බරපතළ සයිබර් ප්‍රහාරයක් ඉතා ආසන්නයේදී ම එල්ලවිය හැකිබවට පරිගණක ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති.

පසුගිය සිකුරාදා (මැයි 12) එල්ලවූ සයිබර් ප්‍රහාරය පරිගණක පද්ධති 125,000කට අධික ප්‍රමාණයකට බලාපා ඇතිබව වාර්තා විය.

එම ප්‍රහාරය සීමා කිරීමට සහයෝගය ලබාදුන් එක්සත් රාජධානියේ සයිබර් ආරක්‍ෂාව පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් වන 'මැල්වෙයාර් ටෙක්' කියා සිටියේ "තවත් එකක් එනවා....බොහෝවිට සඳුදා (මැයි 15) විය හැකියි" යනුවෙනි.

පසුගිය සිකුරාදා මුදාහළ පරිගණක වෛරසය එක්සත් රාජධානිය, ඇමරිකාව, චීනය, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය සහ රුසියාව ඇතුළු රටවල් සියයක ව්‍යාප්තවී තිබේ.

කප්පම්

පරිගණක අගුලු වැටී තිබූ අතර පරිගණකයක් යථා තත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් තුන්සීයක කප්පම් මුදලක් ඉල්ලනු ලැබීය
ඡායාරූප ශීර්ෂ වැකිය, පරිගණක අගුලු වැටී තිබූ අතර පරිගණකයක් යථා තත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් තුන්සීයක කප්පම් මුදලක් ඉල්ලනු ලැබීය

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය යටතේ පවතින, එංගලන්තයේ රෝහල් 48ක සහ ස්කොට්ලන්තයේ රෝහල් 13ක සේවා අඩාල විය.

අදාළ වෛරසය හේතුවෙන් පරිගණක අගුලු වැටී තිබූ අතර පරිගණකයක් යථා තත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් තුන්සීයක කප්පම් මුදලක් ඉල්ලනු ලැබීය.

මෙවැනි සයිබර් ප්‍රහාරයකට මුහුණ දීම සඳහා මයික්‍රෝසොෆ්ට් ආයතනය පසුගිය මාර්තු මාසයේ දී මෘදුකාංගයක් හඳුන්වා දී ඇතත් බොහෝ පරිගණක පද්ධති යාවත්කාලීන කර නොතිබිණි.