කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු කොරියාව තවත් වරක් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලයි.
මෙම මිසයිලය අත්හදා බැලීම වාර්තාවන්නේ දකුණු කොරියාවට අලුතින් තේරී පත්වූ ජනාධිපති මූන් ජේ ඉන් වැඩ භාරගෙන දින කිහිපයක් ඇතුළත ය.
උතුරු කොරියාවේ වයඹදිග කුසොං ප්‍රදේශයෙන් ගුවනට මුදාහැර ඇති මෙම බැලිස්ටික් මිසයිලය කිලෝ මීටර 2000ක් පමණ ඉහළට විද ඇතැයි ජපන් බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY
උතුරු කොරියාව සමඟ නව සබඳතා ඇතිකර ගැනීම සඳහා උත්සාහයක යෙදෙන දකුණු කොරියානු නව ජනාධිපති මූන් ජේ ඉන් කියා සිටියේ මෙය ප්‍රකෝපකාරී කටයුත්තක් බවය.
සංයමයෙන් ක්‍රියාකරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියදී, උතුරු කොරියාවට "බලවත් සම්බාධක" පනවන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කළේය.
උතුරු කොරියාව සම්බන්ධ ගැටලුව විසඳීමට චීනය සහය නොදෙන්නේ නම් ඇමෙරිකාව තනිවම එය විසඳන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණි.
වත්මන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සිය පාලන කාලය පුරා නිරන්තරයෙන් කෙරෙන මිසයිල අත්හදාබැලීම් ඉහළ නැංවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවනු ලැබ ඇති සම්බාධක ද නොතකමිනි.
උතුරු කොරියාව පසුගිය මාසය ඇතුළත මිසයිල අත්හදා බැලීම් දෙකක් සිදුකළ අතර එම අවස්ථා දෙකම අසාර්ථක විය.
ඩොනල්ඩ් ට්‍රම්ප්
උතුරු කොරියාව දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව කොරියානු අර්ධද්වීපය වෙත ප්‍රහාරක නෞකා යැවූ අතර දකුණු කොරියාව තුළ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය.
කොරියානු අර්ධද්වීපය වෙතට නාවික ප්‍රහාරක බලඇණියක් යෙදවීමට ඇමෙරිකානු හමුදාව පියවර ගැනීමත් සමග එම කලාපය තුළ උණුසුම් තත්වයක් මතුවෙමින් පවතී.
උතුරු කොරියානු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කැමති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටි නමුත් දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බවත් සඳහන් කළේය.
හමුදාමය ක්‍රියාමාර්ගවලට පිවිසීම සඳහා තමන්ගේ ඇති සුදානම ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෑතදී පෙන්වා දෙනු ලැබුවේ සිරියාවට කෘස් මිසයිල ප්‍රහාරයක් දියත් කරමින් හා ඇෆ්ඝනිස්තානයේ ඉලක්කයක් වෙත විශාල බෝම්බයක් හෙළමිනි.








