ළාබාල ‘හැකරුන්’ බිහිකරන අන්තර්ජාල උපාංග

බ්‍රිතාන්‍යයේ අපරාධ පිලිබඳ ජාතික නියෝජිත ආයතනය (NCA) නිකුත්කළ වාර්තාවක් මගින් පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්වන මාර්ග පිළිබඳව විස්තරාත්මක පැහැදිළිකිරීමක් ඉදිරිපත්කර තිබේ.

බොහෝ දෙනා 'අන්තර්ජාල ක්‍රීඩා (games) වෙනස් කිරීමේ' වෙබ් අඩවි හෝ එවැනි උපදෙස් සාකච්ඡා කෙරෙන අන්තර්ජාල සංසද ඔස්සේ අන්තර්ජාල ක්‍රීඩා වෙනස් කිරීම පිළිබඳ තොරතුරු ලබාගන්නා බවත් එසේවුවද ධනාත්මක අවස්ථා, ආදර්ශමත් පුද්ගල ප්‍රතිරූප සහ උපදේශකයන් මගින් පුද්ගලයන් සයිබර් අපරාධවලට යොමුවීමෙන් මුදවා ගත හැකි බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.

ගැටවරයින්

පරිගණක සම්බන්ධ අපරාධ සඳහා අත්අඩංගුවට පත් හෝ පිරික්සීමට ලක්වූ පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් සහ එවැනි වැරදිකරුවන් පිලිබඳව කෙරුණු අධ්‍යාපනික විමර්ෂණවලින් හෙළිවූ තොරතුරු පදනම්ව ඉහතකී වාර්තාව නිකුත්කර ඇත.

එසේම අන්තර්ජාල ආක්‍රමණ නැතහොත් 'හැක් කිරීමේ' අපරාධවලට සම්බන්ධ බවට හඳුනාගනු ලැබූ පිරිස් සමග ඇසුරු කිරීමෙන් තොරතුරු ලබාගත් බව අපරාධ පිලිබඳ ජාතික නියෝජිත ආයතනය පවසයි.

මෙසේ සම්මුඛ සාකච්ඡාවට කැඳවනු ලැබූ බොහෝ දෙනා ගැටවර වියේ පසුවූවන් වන අතර ඔවුන් සොරකම් කිරීම, වංචාව හෝ අන්තර්ජාලය ඔස්සේ ලිංගික හිරිහැර කිරීම වැනි දේ අරමුණු කරගත් අය නොවන බව හෙළිවී ඇත.

සම්මුඛ සාකච්ඡාවලට කැඳවූවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය අවුරුදු 17 ක් වන අතර එය මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණයවන අවුරුදු 37 සහ මූල්‍ය අපරාධ වලට චෝදනා ලැබූවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය වන අවුරුදු 39 ට වඩා බෙහෙවින් අඩු බව වාර්තාව හෙළිකරයි.

එසේ සයිබර් අපරාධකරුවන් බවට පත්වන්නන් අතර වයස අවුරුදු 12 ක් පමණවන ළමුන් ද සිටින නමුත් ඔවුන් මුල්‍යමය වාසි තකා පෙළඹෙන්නන් නොවන බව සඳහන් වේ.

නව අපරාධකරුවන්

මෙම NCA වාර්තාව මගින් අවධාරණය කර ඇති ප්‍රමුඛ සත්‍ය වන්නේ අන්තර්ජාලය නව අපරාධකරුවන් විශේෂයක් සමාජයට හඳුන්වා දී ඇති බවය.

සැබෑ ලෝකයේදී අපරාධයක් කිරීමට සිතන්නේවත් නැති බාල සහ ගැටවර වියේ තරුණයන් අන්තර්ජාලයට පිවිස වෙනත් පුද්ගලයන්ගේ දත්ත සොරකම් කිරීම, වෙබ් අඩවි විනාශ කර දැමීම, දත්ත ගබඩා අවුල් කර දැමීම සහ නීතිවිරෝධී භාවිතය මගින් විවිධ පුද්ගලයන්ට අලාබ සහ හානි සිදුකරන බව ඒ මගින් මතුකොට දක්වා ඇත.

කෙසේවුවද අන්තර්ජාල භාවිතය පිළිබඳ සැළකීමේදී 'වැරැද්ද' සහ 'නිවැරැද්ද' අතර පවතින අපැහැදිලි සීමාව මෙම ගැටලුවට හේතුවී ඇති බව විචාරකයෝ පවසති. අන්තර්ජාල ක්‍රීඩාවකදී ප්‍රතිවාදියාට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ජයග්‍රහණය කිරීම තමා ප්‍රිය නොකරන පාසලක, හෝ රාජ්‍ය ආයතනයක වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල කිරීම දක්වා යන කෙටි පියවරක ආරම්භය බව ඔවුහු පෙන්වා දෙති.

සයිබර් අවකාශය ආකර්ෂණීය ස්ථානයකි. එහිදී ඉතා පහසුවෙන් සහ ඉක්මනින් මිතුරන් ඇතිකර ගැනීමට හැකිවන අතර බොහෝවිට ඔවුන්ගේ ප්‍රශංසාවට ලක්වීම සිදුවේ. එසේම ඇතැම් පුද්ගලයන් ඔවුන් නොදැනුවත්වම අපරාධකරුවන් බවට පත්වීමටද අන්තර්ජාලය හේතුවක් වේ.

පහසු උපක්‍රම

සයිබර් අපරාධ සඳහා යොමුවීමට බලපාන සාධක කිහිපයක් විමර්ශකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ:

•වෙබ් අඩවි වලට පහසුවෙන් ඇතුළුවීමට හැකිවීම සහ එසේ රහසින් ඇතුළුවීම සඳහා පහසු උපක්‍රම (easy-to-use hacking tools) අන්තර්ජාලය තුළින්ම සොයාගත හැකිවීම.

•නීතිවිරෝධී උපක්‍රම සහිත මෘදුකාංග පහසුවෙන් ලබාගත හැකිවීම

•නීතියේ රැහැනට හසුවීමේ සම්භාවිතාව අඩුවීම

• 'හැක්' කිරීමෙන් පුද්ගල හානියක් සිදු නොවේය යන ආකල්පය

ඉහත දැක්වූ හේතු එකක් හෝ සියල්ල නිසා ළාබාල සහ තරුණ පිරිස් සයිබර් අපරාධ කෙරෙහි යොමුවන බව NCA වාර්තාව පෙන්වාදෙයි.

හානිය විශාලයි

මෙහි ඇති අවදානම වන්නේ සයිබර් අපරාධකරුවන් ලෙස සැළකිය නොහැකි ළාබාල වයසේ පුද්ගලයන් ගේ ක්‍රියා මගින්ද සිදුකෙරෙන හානිය ඉතා විශාල වීමයි.

එහෙත් ඔවුන්ට අවශ්‍යවන්නේ පරිගණක සහ අන්තර්ජාල තාක්ෂණය පිළිබඳ තමන්ගේ දැනුම උපයෝගී කරගනිමින් මෘදුකාංග පිලිබඳ හෝ වෙනත් තාක්ෂණික ගැටලු විසඳා ගැනීම මිස 'හැක්' කිරීම මගින් මුල්‍යමය වාසි ලබාගැනීම නොවන බව හෙළිවී තිබේ.

එබැවින් එවැනි වරදකරුවන්ට ඔවුන්ගේ දැනුම සහ හැකියාව යහපත් ආකාරයෙන් යොදාගතහැකි මාර්ග පෙන්වාදීමෙන් සයිබර් අපරාධ වලින් වළක්වාගැනීමේ හැකියාව ඇති අතර පෙර මෙවැනි වරද වලට හසුවූවන්, පරිගණක විශේෂඥයන් සහ පොලීසිය එක්ව ක්‍රියාකිරීමෙන් සයිබර් අපරාධ කිරීමෙන් ළාබාල සහ තරුණ පිරිස් මුදවා ගත හැකි බවද වාර්තාව පෙන්වා දෙයි.