ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සමරිසි ධජයේ නිර්මාතෘ දිවියෙන් සමුගනියි
ලොවපුරා සමරිසි ජනයාගේ සංකේතයක් ලෙස සැලකෙන දේදුනු පැහැති ධජයේ නිර්මාණකරු ගිල්බර්ට් බේකර් සිය දිවි ගමන නිම කළේය.
මියයන විට ඔහු හැටපස් වැනි වියේ පසුවිය.
1978 දී සමරිසි පුද්ගලයන්, ද්වි ලිංගික ඇසුර ලබන්නන් සහ සංක්‍රාන්ති ලිංගිකයන් (LGBT ප්‍රජාව) සඳහා ධජයක් නිර්මාණය කරන ලෙස බේකර් ට ඇරයුම් කළේ කැලිෆෝනියාවේ රාජ්‍ය නිලධාරියෙකු වූ හාර්වි මිලක් විසිනි.
තමා සමරිසි පුද්ගලයෙකු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඡන්දයකින් බලයට පත්වූ ඇමරිකාවේ පළමු රාජ්‍ය නිලධාරියා ලෙස සැලකෙන්නේ හාර්වි මිලක් ය.
හමුදාවේ සේවයෙන් සමුගනීමෙන් පසු ස්වෝත්සාහයෙන් ඇඳුම් මැසීම ඉගෙන ගෙන සිටි බේකර් විසින් නිර්මාණය කළ ධජය සඳහා ඩොලර් දහසක ගාස්තුවක් ගෙවනු ලැබිණි.
බේකර් විසින් නිර්මාණය කළ ධජය වර්ණ අටකින් යුතුවූ අතර ඒ සෑම වර්ණයක් මගින්ම මනුෂ්‍යත්වයට බලපාන එකිනෙකට වෙනස් සුවිශේෂී අරුත් ගම්‍යමාන වේ.
රෝස පැහැය - ලිංගිකත්වය
රතු පැහැය - ජීවිතය
තැඹිලි පැහැය - සුවපත් කිරීම
කහ පැහැය- හිරු එලිය
කොළ පැහැය - සොබාදහම
හරිත නිල් පැහැය (Turquoise)- කලාව
අවරිය දම් පැහැය (Indigo) - සංගතිය (එකඟතාව)
නීල ලෝහිත පැහැය(Violet) - මානව අධ්‍යාත්මය
පසු කලෙක රෝස පැහැය සහ අවරිය දම් පැහැය ඉවත්කරමින් හරිත නිල් පැහැය වෙනුවට නිල් පැහැය යොදා වර්ණ හයක් පමණක් ඇතුළත් සමරිසි ධජයක් ලෙස නිර්මාණය කෙරිණි.
බේකර් ප්‍රකාශ කළේ 'මානවීය විවිධත්වය සහ ලිංගිකත්වය මානව හිමිකමක්ය' යන පණිවුඩය මෙම ධජය මගින් සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍යවූ බවය.
බේකර් නිර්මාණය කළ ධජය අද ලොව පුරා LGBT ප්‍රජාව අතර ලෙළදෙයි.