සමලිංගික චෝදනා ලද පිරිමින් පනස් දහසකට වන්දි

19 වෙනි සියවසේ නීතියකට අනුව සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් පනස්දහසක් වරදකරුවන් කරමින් දී තිබූ අධිකරණ තීන්දුව නිශ්ප්‍රභ කිරීම සඳහාවූ යෝජනාවකට ජර්මනියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්කෙරෙන මෙම යෝජනාව මගින් චූදිතයන්ට ඔවුන් වරදකරුවන් කිරීම සඳහා මෙන්ම සිරගතව සිටි කාලය සඳහා වන්දි ලබාදීමට අපේක්‍ෂා කෙරේ.

ජර්මනියේ අධිකරණ අමාත්‍ය හෙයිකෝ මාස් පැවසුවේ මෙය බොහෝ කලකට පෙර කළ යුතුව තිබූ දෙයක් බවය.

"අපිට පුළුවන් කමක් නැහැ මේ සිදුවුණු අසාධාරණය සහ වේදනා විඳීම ආපසු හරවන්න. එත් අපිට අවශ්‍ය වෙන්නෙ ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය මගින් සිදුවූ වැරදි නිවැරදි කර ගන්න. මොකද යුක්තිය ඉටුකිරීම සඳහා අපි තවමත් ප්‍රමාද නැහැ," යනුවෙන් ඔහු පැවසීය.

අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් චෝදනාවට වරදකරුවන් වූ සෑම පුද්ගලයෙකුටම යූරෝ 3,000 ක මුදලක් ලැබෙන අතර එයට අමතරව සිරගතව සිටි කාලය වෙනුවෙන් යුරෝ 1,500 ක වන්දියක් හිමිවෙනු ඇත.

එම පනස්දහසක පිරිස අතරින් පන්දහසක් වූ දැනට ජීවතුන් අතර සිටින පිරිසට වන්දි ලබා ගැනීමේ හැකියාව ලැබේ.