"රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව ' වධ බන්ධනයට' ලක්වෙලා"

'රෝහින්ග්‍යා' ම්යන්මාරයේ වෙසෙන සුළුතර මුස්ලිම් ජන කොටසකි
ඡායාරූප ශීර්ෂ වැකිය, 'රෝහින්ග්‍යා' ම්යන්මාරයේ වෙසෙන සුළුතර මුස්ලිම් ජන කොටසකි

ම්යන්මරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එරට හමුදාව සහ පොලිසිය "මානුෂීයත්වයට එරෙහි අපරාධවල" යෙදී ඇති බව එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ට නිලධාරිනියක පවසන්නීය.

ම්යන්මාරයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ග්හී ලී ඒ බව සඳහන් කළේ බීබීසී නිව්ස්නයිට් - බීබීසී අවර් වර්ල්ඩ් එක්ව කළ විමර්ශනයකදී අදහස් දක්වමිනි.

වසරක සිට එරට බලයේ සිටින අවුන් සාන් සුචී ඒ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වීම බැහැර කළාය.

ඇයගේ පක්ෂ ප්‍රකාශයකයකු කියා සිටියේ, එල්ලවන චෝදනා "අතිශයෝක්ති"වන අතර අදාළ ගැටලුව "අභ්‍යන්තර" කරුණක් විනා "ජ්‍යාත්‍යන්තර" වුවක් නොවන බවය

විශේෂ නියෝතිත ලී හට ම්යන්මාරයේ අර්බුදයට ලක්වූ කලාපයට ප්‍රවේශවීමේ අවස්ථාව නොලැබුණි. එහෙත්, බංග්ලාදේශ් වෙත පැමිණ සිටින සරණාගතයින් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව බීබීසී වෙත අදහස් පළකළ ඇය, තමන් අපේක්ෂා කළ තත්වයට වඩා "බොහෝ බරපතල" බව සඳහන් කළාය.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ග්හී ලී
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ග්හී ලී

අපචාර පිළිබඳ ගැටලුව ම්යන්මාර ආරක්ෂක අංශ තුළින්ම සිදුවන්නක් බව කී ඇය සඳහන් කරන පරිදි, ඒ පිළිබඳ ඇතැම් වගකීම් ඡන්දයෙන් පත්වූ අවුන් සාන් සුචීගේ ආණ්ඩුව දැරිය යුතු වේ.

"කොහොමවුනත් එය සිවිල් ආණ්ඩුවක්. තමන්ගේ ජනතාවට එරෙහිව ක්‍රියාත්මකවන බියකරු වදදීම් හා ඇති අමානුෂික අපරාධ පිළිබඳ පිළිතුරු දෙන්නට සිදුවන්නේ එම ආණ්ඩුවටයි." යැයි නියෝජිතවරිය සඳහන් කළාය.

වසර 25ට පසුව 2015 වසරේදී ම්යන්මාරයේ පැවති පළමු විවෘත මැතිවරණයේදී, කලෙක ප්‍රජාතන්ත්‍රවාදයේ සළකුණක් සේ සැළකුණු අවුන් සාන් සුචී නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ජයග්‍රහණය කළේය.

අවුන් සාන් සුචී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අවුන් සාන් සුචී

පසුගිය ඔක්තෝබර් මාසයේදී සන්නද්ධ කණ්ඩායම් කළ පහරදීමකින් මතුවූ හමුදා ක්‍රියාමාර්ග හමුවේ පසුගිය මාස කිහිපය තුළදී ම්යන්මාරයේ සුළුතර රෝහින්ග්‍යා ජන කොටසට අයත් 70,000 ට අධික පිරිසක් බංග්ලාදේශ් වෙත පලාගියහ.

එහි කඳවුරු වෙත මෑතදී පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් බීබීසී වෙත පැවසුවේ ම්යන්මාර හමුදා විසින් සිවිල් වැසියන්ට වෙඩි තබනු ලබන අතර පැහැරගෙනයාම් හා තරුණියන් දුෂණයේ ද යෙදෙන බවය.

ම්යන්මාර ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපති පදවිය දැරීම අහුරාලනු ලැබ තිබුන ද අවුන් සාන් සුචී එරට නායකත්වය හොබවන බව ප්‍රකටව පෙනෙන්නට ඇත.

එහෙත්, මාස 16 ට පෙර විශාල මැතිවරණ ජයග්‍රහණයක් ලැබූ තැන සිට ම්යන්මාරයේ සිටින විදෙස් ජනමාධ්‍යවේදීන් සමග අවුන් සාන් සුචී කිසිදු සම්මුඛ සාකච්ඡාවකට එක්වී නැත.

ඇයගේ දේශපාලන පක්ෂයේ ප්‍රකාශකයකුවන වින් තීන් බීබීසී වෙත පැවසුවේ, පවතින ව්‍යවස්ථාව යටතේ හමුදාව නැවැත්වීමේ බලයක් අවුන් සාන් සුචී සතු නොවන බවය.

කෙසේවෙතත්, ලබන සඳුදා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත සිය වාර්තාව ඉදිරිපත් කරන විශේෂ නියෝජිත යැන්ග්හී ලී, උතුරු කොරියාවේ සහ සිරියාව සම්බන්ධයෙන් පත්කර ඇති විමර්ශන කොමිසමක් පිහිටුවන ලෙස නිල වශයෙන් ඉල්ලා සිටිනු ඇත.

මේ සම්බන්ධයෙන් බීබීසී කළ විමසීමේදී, එවැනි කොමිසමක් ස්ථාපනය කිරීම සඳහා සහය දෙන්නේදැයි පැවසීම බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපා සංගමය ද ප්‍රතික්ෂේප කළහ.