"කිම් ජොන් නාම් ඝාතනය පිටුපස උතුරු කොරියාව"

කිම් ජොන් නාම් ගේ ඝාතනය තවමත් අභිරහසක්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'කිම් ජොන් නාම් ගේ ඝාතනය තවමත් අභිරහසක්'

උතුරු කොරියානු නායකයාගේ සොහොයුරා ඝාතනය කිරීම පිටුපස සිටින්නේ එරටම ආණ්ඩුව බව කොරියාව එක්සත් කිරීමේ කටයුතු භාර දකුණු කොරියානු අමාත්‍යංශය පවසයි.

උතුරු කොරියානු නායකයාගේ පියා වූ අභාවප්‍රාප්ත කිම් ජොන් ඉල් ගේ පළමු විවාහයේ එකම දරුවා වූ කිම් ජොන් නාම් ඝාතනයට සම්බන්ධව තවත් සැක කරුවන් හතර දෙනෙකු සොයා මෙහෙයුම් දියත් කර ඇති බව මැලේසියානු පොලිසිය පවසයි.

මේ වන විටත් අදාළ සැකකරුවන් හතර දෙනා හඳුනා ගැනීමට හැකි වී ඇති නමුත් ඔවුන් රටින් පිටව ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තවමත් සිය සොහොයුරාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කොට නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තවමත් සිය සොහොයුරාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කොට නොමැත.

පසුගිය සතියේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේ දී විෂ ශරීරගත කරනු ලැබීමකින් මරණයට පත් වූ බවට සැක කෙරෙන කිම් ජොන් නාම් ගේ ඝාතනය තවමත් අභිරහසක් වන අතර මේ වන විට අපරාධය සම්බන්ධයෙන් සැක පිට සිව්දෙනකු මැලේසියානු පොලිස් භාරයේ ප්‍රශ්න කිරීම් වලට ලක්ව සිටිති.

ඉදිරි සති දෙකක කාලය තුළ කිම් ජොන් නාම් ගේ සමීප ඥාතිකුට ඔහුගේ මල සිරුර භාර ගැනීමේ අවස්ථාව ලබා දෙන බව මැලේසියානු බලධාරීහු පවසති.

උතුරු කොරියානු නායකයාගේ පවුලේ ඉතිහාසය
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියානු නායකයාගේ පවුලේ ඉතිහාසය