ක්‍රිකට්: ඇෆ්ඝනිස්තානයට සහ අයර්ලන්තයටත් ටෙස්ට් වරම්?

ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අයර්ලන්තයට සහ ඇෆ්ඝනිස්තානයට ටෙස්ට් වරම් හිමිවීමේ අවස්තාව උදා වී තිබේ.

සිය අනාගත සැලසුම්වලට අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්තානයත් එක්කරගැනීමට ඩුබායිහි පැවැත්වුණු විධායක කමිටු රැස්වීමේදී ජගත් පාලක මණ්ඩලයේ එකඟත්වයකට පැමිණියේය.

එමෙන්ම ටෙස්ට් ක්‍රීඩාකරන රටවල් නමයක් යොදාගනිමින් සෑම දෙවසරකටම වරක්ම ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමටත් ජගත් පාලක මණ්ඩලය ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ වී තිබේ. එම ශූරතාවලිය 2019 ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව ආරම්භවනු ඇතැයි අපේක්ෂිතයි.

ටෙස්ට් ක්‍රීඩාවට ක්‍රීඩාලෝලීන් ආකර්ෂණය කරගැනීම පිණිස ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීම පිළිබඳව අයිසීසීය කලක් මුළුල්ලේම සාකච්ඡා පවත්වමින් සිටියේය.

ඒ පිළිබඳව අවසාන තීරණ ගනු ලබන්නේ ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදීය.

ඒ තීරණයත් සමගම අයර්ලන්තයට සහ ඇෆ්ඝනිස්තානයට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකිරීමේ අවස්තාව හිමිවේවිද, නොඑසේනම් නව ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වනතුරු බලා සිටීමට සිදුවේවිද යන්න පැහැදිලි නැත.

2006 දී පළමු වරට එංගලන්තයට එරෙහිව තරග වදිමින් අයර්ලන්තය එක් දින සීමිත ඕවර ක්‍රිකට් පිටියට එක් වූ අතර, ඇෆ්ඝනිස්තානය එක් දින වරම් ලැබුවේ ඊට වසර තුනකට පසුවය.