“ගින්දර සමග සටනට ගින්දර ම ඕනෑ”

ප්‍රශ්න කිරීමේ ක්‍රමයක් වශයෙන් 'වොටර් බෝර්ඩින් ' (waterboarding) සාර්ථක විධි ක්‍රමයක් බව විශ්වාස කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, "ගින්දර සමග සටන් කළ යුත්තේ ගින්දරින්මයි" යැයි පවසයි.

ABC මාධ්‍ය වෙත ඔහු ප්‍රකාශ කළේ අන්තවාදයට එරෙහිව නීත්‍යානුකුලව සටන්වැදීම පිණිස කළයුත්තේ කුමක්දැයි ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සහ CIA අධ්‍යක්‍ෂ මයික් පොම්පියෝ සමග සාකච්ඡා කරන බවය.

කෙසේවුවද, හිටපු CIA අධ්‍යක්‍ෂ ලියොන් පැනේටා මෙය හඳුන්වාදෙනු ලැබුවේ, වධහිංසා පැමිණවීමට අදාළව "පසුගාමී පියවරක් අනුගමනය කිරීම බරපතල අත්වැරැද්දක්" ලෙසිනි.

අයිසිස් කණ්ඩායම

"අපි අපේ රට ආරක්‍ෂා කළ යුතුයි" යනුවෙන් ජනාධිපති ට්‍රුම්ප් පැවසීය.

" ඔවුන් වෙඩි තියනකොට, අපේ මිනිසුන්ගේත් අන් අයගේත් හිස් සිඳිනකොට, මැදපෙරදිග ඉන්න ක්‍රිස්තියානි බැතිමතුන් වීම නිසාම මිනිසුන්ගේ ගෙළ කපා දමන කොට, මධ්‍යතන කාලයෙන් මෙපිට අපි අසා නැති ආකාරයේ දේවල් අයිසිස් කණ්ඩායම කරනකොට, 'වෝටර් බෝර්ඩින්' ක්‍රමය තද වැඩියි කියල මට දැනෙයි ද?" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ප්‍රශ්න කළේය.

"මම රහස් ඔත්තුසේවාවල ඉහළම නිලධාරීන්ගෙන් අහනකොට 'මේ වධහිංසා දීමේ ක්‍රමය' සාර්ථකද කියල, ඔවුන්ගේ පිළිතුර වුණේ 'සත්තකින්ම ඔව්' කියන එකයි" යැයි ද ඔහු සඳහන් කළේය..

"මම පොම්පියෝ සහ මැටිස් ඇතුළු මගේ කණ්ඩායමගැන විශ්වාසය තබනවා. ඔවුන්ට එය කරන්නට අවශ්‍ය නැතිනම්, කමක් නැහැ. ඔවුන්ට එය අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මම ක්‍රියා කරනවා."

"මට අවශ්‍ය නීත්‍යානුකුලව කරන්න පුළුවන් සීමාව තුළ හැමදේම කරන්න. නමුත් ඇත්තටම මට හිතෙන්නේ මේක සාර්ථක බවයි." යැයි ද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණ සමයේ රුපවාහිනී විවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් අඟවා තිබුණේ ත්‍රස්තවාදී සැකකරුවන් සඳහා 'වෝටර් බෝර්ඩින්' වැනි දැඩි ක්‍රම යොදාගන්නා ලෙස ඇතැම්විට හමුදාවන්ට උපදෙස් දෙනු ඇති බවය.

දියේ ගිලීම

එහෙත් පසුව සිය ස්ථාවරය මෘදු කළ ඔහු පවසා තිබුණේ හමුදාවට ජාත්‍යන්තර නීති කඩ කිරීමට තමා උපදෙස් නොදෙනු ඇති බවය.

'වෝටර් බෝර්ඩින්' යනු යමෙකුගේ මුහුණට නොකඩවා දිය වත්කරමින් දියේ ගිලීම වැනි තත්වයකට පත්කර ප්‍රශ්න කිරීමේ උපක්‍රමයකි.

එය වධහිංසා දීමේ ක්‍රමයක් ලෙස පිළිගැනෙන අතර ඇමරිකාව විසින් තහනම් කරනු ලැබිණ.

"අපට අවශ්‍ය තොරතුරු ලබාගන්න මේ වගේ දැඩි ප්‍රශ්න කිරීමේ ක්‍රමයක් අවශ්‍ය නැහැ." යනුවෙන් බීබීසී ලෝක සේවය හා අදහස් දක්වමින් හිටපු CIA අධ්‍යක්‍ෂක ලියොන් පැනේටා පෙන්වා දුන්නේ,

"ජෙනරාල් මැටිස් එහෙම විශ්වාස කරනව, රහස්ඔත්තුසේවාවේ ඉන්න අනිත් අය එහෙම විශ්වාස කරනවා. FBI එක එහෙම විශ්වාස කරනව. ඒ නිසා මම හිතන්නේ ඒ ක්‍රමයට නැවත යාම කරගන්නා වැරද්දක් වෙයි" යනුවෙනි.

"මම හිතනව ඒක ලෝකය හමුවේ අපේ ප්‍රතිරූපය විනාශ කරන්න හේතුවෙයි කියල" යැයි ද ලියොන් පැනෙටා අවධාරණය කළේය.