MH370 යානය සෙවීම අත්හැර දමයි

වසර තුනක් පුරා ක්‍රියාත්මක වෙමින් පැවති අතුරුදහන්වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සෙවීමේ මෙහෙයුම් නවත්වා ඇත.

ඉන්දියානු සාගරය තුළ වර්ග කිලෝමීටර විසි දහසක වපසරියක් ආවරණයවන පරිදි ක්‍රියාත්මක කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් එම යානයේ යැයි සැක කළ හැකි සුන් බුන් කිසිවක් සොයාගැනීමට නිරීක්ෂණ කණ්ඩායම් අපොහොසත්වීම ඊට හේතු විය.

2014 වසරේ මාර්තු මාසයේදී MH370 යානය අතුරුදහන් වූයේ මගීන් දෙසිය තිස්නව දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බෙයිජිං දක්වා පියාසර කරමින් තිබියදීය.

මුලදී විශ්වාස කෙරුණේ යානය ඕස්ට්‍රේලියාවේ බටහිර මුහුදු ප්‍රදේශයට කඩා වැටෙන්නට ඇති බවය. එහෙත් යානය නියමිත ගුවන් මාර්ගයෙන් ඉවත්ව එතරම් දුරට ගියේ ඇයිදැයි යන්න පැහැදිලි කෙරෙන කිසිදු සාක්‍ෂියක් හමු වී නැත.