සංහිඳියාව: අධිකරණ පද්ධතියේ 'ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි'

දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර සංහිඳියාව සහතික කරනු වස් පොලිස් සහ අධිකරණ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ පැහැදිලි අවශ්‍යතාවක් මතු වී තිබෙන බව සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.

යුද ගැටුම්වල වින්දිතයන්ට අධිකරණ පද්ධතිය මාර්ගයෙන් සහනයක් අපේක්ෂා කිරීමේදී සිදු වන ප්‍රමාදයන් සහ මග ඇහිරීම් පිළිබඳව බොහෝ දෙනෙකු තමන්ට කරුණු දැක් වූ බවත් කාර්ය සාධක බලකාය පවසයි.

අධිකරණ පද්ධතිය, නීතිපති දෙපාර්තමේන්තුව, විමර්ශකයන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෑම මට්ටමකදීම සිදුවන ප්‍රමාදයන්, ධාරිතාව සහ නිපුණතාවේ මදකම වැනි යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන කරුණු කෙරෙහි එහිදී ප්‍රධාන අවධානය යොමු කළ යුතු බවත් කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි.

එම නිර්දේශ ඇතුලත් වෙන්නේ, ශ්‍රී ලංකාව පුරා විවිධ ජනකොටස් සහ වෘත්තීය ක්ෂේත්‍රයන් නියෝජනය කළ 7000 කට අධික පිරිසකගේ අදහස් ඇසුරින් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් සකස් කරන ලද වාර්තාවේය.

"සත්‍යය දැනගැනීමේ, යුක්තිය සහ වගවීම පිළිබඳ හිමිකම, වන්දි ලබාගැනීමේ සහ යළි එවන් සිදුවීම් නොවන බවට සහතිකයක් ලබාගැනීමේ අයිතිය," ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට ඇතුලත් කළ යුතු බවත් එහි දැක්වේ.

කාර්ය සාධක බලකායේ වාර්තාව පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත භාර දෙනු ලැබුණි.

එය ආණ්ඩුවේ කිසිදු බලපෑමකින් තොරව, සිවිල් සමාජ ක්‍රියාධරයන් විසින් මහජන අදහස් විමසා සකස් කරන ලද වාර්තාවක් බව හිටපු ජනාධිපතිනිය එහිදී අවධාරණය කර තිබුණි.

කෙසේ නමුත් යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව විභාග කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිශ්චයකරුවකුවත් ඇතුලත් විය යුතු බවට කාර්ය සාධක බලකාය කරන නිර්දේශය ආණ්ඩුව දැනටමත් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධ නඩු විභාගයේදී ජූරි සභාව විසින් විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීම රාජිත සේනාරත්න සහ මනෝ ගනේෂන් අමාත්‍ය්වරුන්ගේද විවේචනයට ලක් වී තිබුණි.