ට්‍රම්ප් පාලනයේ රාජ්‍ය ලේකම් තෙල් සමාගම් ප්‍රධානියෙක්

රෙක්ස් ටිලර්සන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රෙක්ස් ටිලර්සන් රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව විශ්වාස කෙරේ

එක්සන් මොබීල් ඛණිජ තෙල් සමාගමේ ප්‍රධානී රෙක්ස් ටිලර්සන් සිය පරිපාලනයේ රාජ්‍ය ලේකම් පදවියට පත් කරන බව ඇමෙරිකානු ජනපති පදවියට පත්කරන තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සනාථ කළේය.

64 හැවිරිදි රෙක්ස් ටිලර්සන් ලොව 'ඉතාමත් සාර්ථක ව්‍යාපාරික නායකයකු' බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ඔහු රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව විශ්වාස කෙරෙන අතර, ඒ පිළිබඳව ඇතැම් රිපබ්ලිකන් නායකයෝ ප්‍රබල අවධානය පළ කරති.

ඔහු රාජ්‍ය ලේකම් පදවියට පත්කිරීම ඇමෙරිකානු සෙනෙට් සභාව විසින් අනුමත කළයුතුව තිබේ.

ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කිරීම පිණිස ඡන්දදායකයන් පොළඹවා ගැනීම පිණිස රුසියාව මැදිහත්වූ බව රහස් ඔත්තු සේවා ආයතන පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කිරීම පිණිස ඡන්දදායකයන් පොළඹවා ගැනීම පිණිස රුසියාව මැදිහත්වූ බව රහස් ඔත්තු සේවා ආයතන පවසයි

රාජ්‍ය ලේකම් පදවියට නම් කිරීම තමන්ට ගෞරවයක් බව පවසන රෙක්ස් ටිලර්සන්, 'ඇමෙරිකා එක්සත් ජනපදය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යළි ගොඩනැංවීම සහ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව සහතික කිරීමේ' ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දර්ශනය තමා අනුමත කරන බවත් සඳහන් කළේය.

ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කිරීම පිණිස ඡන්දදායකයන් පොළඹවා ගැනීම පිණිස රුසියාව මැදිහත්වූ බව ඇමරිකානු රහස් ඔත්තුසේවා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මගින් සනාථ කර තිබේ.

එහෙත් එම ආයතනවල වාර්තාව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.