වෙනිසියුලාවත් ඉන්දියානු මාවතේ

ඉදිරි පැය හැත්තෑ දෙකක කාලය තුළ රටේ ඉහළම නාමික වටිනාකමින් යුතු මුදල් නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව වෙනිසියුලා රජය ප්‍රකාශ කරයි.

රජය මෙම පියවර ගෙන තිබෙන්නේ වෙනිසියුලාව තුළ සිදුවන මහ පරිමාණයේ වංචනික වෙළඳාම් වැළක්වීමේ පියවරක් ලෙසයි.

වෙනිසියුලානු මහ බැංකුවේ දත්ත වලට අනුව බිලියන හයක 'බොලිවර් සියයේ' නෝට්ටු මූල්‍ය වෙළඳපොළේ සංසරණය වෙමින් පවතින අතර එය සම්පූර්ණ මුදල් වෙළඳපොලෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකි.

එළඹෙන බදාදා සිට වෙනිසියුලානු වැසියන්ට තමන් සතු බොලිවර් සියයේ නෝට්ටු වෙනුවට නාමික අගයෙන් අඩු නෝට්ටු සහ කාසි වලින් මුදල් මාරු කර ගැනීමට දින දහයක කාලයක් ලැබෙනු ඇත.

වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මාදුරෝ ප්‍රකාශ කළේ වැඩි නාමික වටිනාකමින් යුතු නෝට්ටු ඉවත් කිරීමට ගත් හදිසි පියවරෙන් ජාවාරම් කල්ලි සතුව පවතින වංචනික මුදල් තොග නීතියේ රැහැනට හසු කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවය.

පසුගිය මාසයේ මේ අයුරින්ම ඉහළ නාමික වටිනාකමින් යුතු මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගත් අතර ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ද වංචනික මුදල් තොග බදු රැහැනට හසු කර ගැනීමයි.