සැම්සුන් සමාගම දෙකඩ කිරීමේ සැලසුමක්

සැම්සුන් සමාගම කොටස් දෙකකට බෙදා වෙන් කොට ආයතන දෙකක් වශයෙන් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව එහි කළමනාකාරිත්වය නිවේදනය කොට තිබේ.

සැම්සුන් සමාගමේ ආයෝජකයන්ගෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම සලකා බලා මෙම තීරණය ගැනීමට ක්‍රියා කළ බව ඔවුහු පවසති.

ඒ අනුව එක් ආයතනයක් ආයෝජකයන්ගේ කොටස් වටිනාකම ඉහළ නැංවීමට උපකාරී වන අයුරින් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

දෝෂ සහිත 'ගැලැක්සි නෝට් 7' ස්මාර්ට් ජංගම දුරකථනය වෙළඳපොළෙන් ඉවත් කරගැනීම හේතුවෙන්, මාස හයක කාලයක් තුළ සාමාන්‍යයෙන් උපයන ලාභයෙන් ඩොලර් බිලියන තුනකට අධික අලාභයක් සිදු වන බව මින් පෙර සැම්සුන් සමාගම ප්‍රකාශ කොට තිබුණි.

දෝෂ සහිත බැටරියක් අන්තර්ගත මෙම නව ජංගම දුරකථනය ගිනියම් වී පුපුරා යන බවට ලද පාරිභෝගික පැමිණිලි විශාල සංඛ්‍යාව හේතු කොටගෙන සැම්සුන් සමාගම විසින් එම නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් කරගනු ලැබීය.

වෙළෙඳපොළට නිකුත් කළ ජංගම දුරකථන යළි ඉවත් කරගැනීම සහ ලක්ෂ විසිපහකට අධික පාරිභෝගිකයන්ට මුදල් ආපසු ගෙවීම එම අලාභයට හේතු විය.

අනාගතයේදී සමාගමේ ලාභාංශ ඉහළ දැමීමට සැලසුම් ඉදිරිපත් කරන සැම්සුන් කළමනාකාරිත්වය සිය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කළේ නැවතත් සමාගමට අහිමි වූ කොටස් මිලදී ගැනීමට ක්‍රියා කරන බවය.