ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වඳුරෙක් කළ හදියක්
වඳුරකු මුල් කරගනිමින් ඇති වූ ගැටුමක් හේතුවෙන් දකුණු ලිබියාවේ සබා නගරයේ අඩුම තරමින් පුද්ගලයන් විසි දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව එරට වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි.
සුරතල් වඳුරකු පාසල් දැරියක සපා කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් කෝප වූ දැරියගේ ඥාතීන් වඳුරා ඇති කළ පවුලේ සාමාජිකයන්ගෙන් පළි ගැනීමට ගත් උත්සාහයේදී හටගත් ගැටුමෙන් තරුණයන් තිදෙනෙකු සහ සුරතලාද මරුමුවට පත් විය.
එම සිදුවීමෙන් පවුල් දෙක අතර ඇවිලී ගිය ආරවුල මේ වන විට ලිබියාවේ අව්ලාද් සුලෙයිමාන් සහ ගුවේඩඩ්ෆා ගෝත්‍ර දෙක අතර ගැටුමක් බවට පරිවර්තනය වී ඇත.
දැනට වාර්තා වී ඇති තොරතුරු වලින් පෙන්නුම් කරන්නේ අව්ලාද් සුලෙයිමාන් ගෝත්‍රයට අයත් පුද්ගලයන්ගේ මරණ සංඛ්‍යාව පමණක්වන බැවින් ගැටුමෙන් මියගොස් ඇති සංඛ්‍යාව විස්සකට වඩා ඉහළ අගයක් ගැනීමේ ඉඩකඩ පවතින බව බලධාරීහු පෙන්වා දෙති.
ගෝත්‍ර දෙකක් අතර ගැටුමක්
ප්‍රාදේශීය වාර්තාවලින් ප්‍රකාශ වුනේ මේවන විට ගෝත්‍ර දෙක අතර ගැටුමට රොකට්, යුද ටැංකි සහ බර අවි යොදා ගැනෙමින් ඇති අතර ප්‍රහාර වලින් තුවාල ලැබූ පිරිස පනහ ඉක්මවන බවය.
වඳුරා විසින් පාසල් දැරියගේ හිජාබය ගැලවීමට උත්සාහ දරා ඇති අතර ඇගේ හිස සහ මුහුණ නිය පහරින් සූරා සපා කනු ලැබීමේ සිදුවීම මේවන විට ලිබියාවේ ප්‍රධාන ගෝත්‍ර දෙකක් අතර සන්නද්ධ අරගලයක් බවට පරිවර්තනය වී ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සුරතල් වඳුරාගේ හිමිකරුවන් සහ සිදුවීමෙන් මියගිය තරුණයන් තිදෙනා ගුවේඩඩ්ෆා ගෝත්‍රයට අයත් අතර ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි අයත් වන්නේද ගුවේඩඩ්ෆා ජන සමූහයටයි.
වසර ගණනාවක් මුළුල්ලේ අව්ලාද් සුලෙයිමාන් සහ ගුවේඩඩ්ෆා ජන කොටස් දෙක අතර ඉතා දුරස්ථ සම්බන්ධතාවක් පැවතෙන අතර 2011 මුවම්මර් ගඩාෆි බලයෙන් නෙරපා හැරීමත් සමග ලිබියාවේ පවතින්නේ බෙදුම්වාදී ගැටුම්කාර වාතාවරණයකි.