ට්‍රම්ප් විරෝධී ඇමරිකානුවෝ වීදි බසිති

ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත්වීමෙන් අපේක්ෂාභංගත්වයට පත් විරෝධතාකරුවෝ නගර කිහිපයකදී වීදි බැස තම අසතුට මුදාහළහ.

ලොස්ඇන්ජලීස් නගරයේදී සියගණනක විරෝධතාකරුවන් පිරිසක් විසින් පැයක පමණ කාලයක් තිස්සේ මාර්ගයක් අවහිර කරනු ලැබීම හේතුවෙන් දුරට විහිදුනු රථවාහන පෝලිම් දක්නට ලැබුණි.

මේ අතර තවත් දහස් ගණනක පිරිසක් නිව්යෝර්ක් නගරයේ 'ට්‍රම්ප් කුළුන' අභියසට පැමිණ සංක්‍රමණික ගැටලුව, සමලිංගික අයිතීන් සහ ප්‍රජනනය සම්බන්ධ අයිතීන් පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලට එරෙහිව හඬ නැගූ බව වාර්තාවේ.

චිකාගෝ, පිලඩෙල්ෆියා සහ සැන් ෆ්රැන්සිස්කෝ යන නගරවලද විරෝධතාකරුවන් මෙලෙස රැස්වී සිටි අතර සමාජ මාධ්‍ය ජාලාවලද පැතිරගිය ජනප්‍රිය යෙදුමක් වූ "ඔහු මගේ ජනපති නොවෙයි" යන පාඨය කියමින් මෙම විරෝධතාකරුවෝ හඬ නැගූහ.