ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ
ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂයේ ක්‍රියාධරයන් දියත් කළ විරෝධතා රැළියකට එරට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවති මෙම විරෝධතා රැළියට සහභාගීවූවන්ගෙන් පනස් දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත් විය.

පැනමා ලේඛන

අගමැති නවාස් ෂෙරීෆ්
ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති නවාස් ෂෙරීෆ්

පැනමා ලේඛන තුළ සඳහන් සමාගම්වලට පකිස්තානු අගමැතිවරයාගේ පවුලේ ඥාතීන්ගේ සම්බන්ධතා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් අගමැති නවාස් ෂෙරීෆ්ට බල කිරීම මෙම විරෝධතාවයේ අරමුණයි.

තම රටවල ආදායම් බදු සීමාවන්ට හසු නොවී බදුවලින් රිංගා යෑම සඳහා පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ ආයතනයක් සිය සේවාදායකයන්ට පහසුකම් සලසා ඇති බව දැක්වෙන රහසිගත ලිපිගොණු සම්බන්ධයෙන් පසුගිය දා ලෝක අවධානය යොමු විය.