ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රිපබ්ලිකන් නායකයෝ ට්‍රම්ප් හැර යති
කාන්තාවන් පිළිබඳ අසභ්‍ය ප්‍රකාශන සිදු කිරීම මුල් කර ගනිමින් ඇමරිකානු ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වන ලෙස රිපබ්ලිකන් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිති.
රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් ඉහත කී ඉල්ලීම සිදු කරනු ලැබුවේ දශකයකට ඉහතදී ඩොනල්ඩ් ට්‍රම්ප් කාන්තාවන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශන කරනු දැක්වෙන වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමගයි.
ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ට්‍රම්ප් ඉවත් විය යුතු බව පවසන පිරිස අතර හිටපු රාජ්‍ය ලේකම්වරියක් වන කොන්ඩලීසා රයිස් සහ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා තරග කළ සෙනට් සභික ජෝන් මැකේන් ද වෙති.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය ලබා නොදෙන බවයි රිපබ්ලිකන් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගණනාවක්ම පවසා ඇත්තේ.
කෙසේ වෙතත් තමා ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් නොවනු ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.
කාන්තා සබඳතා සහ ඔවුන් සිප ගැනීම පිළිබඳව ට්‍රම්ප් පුරසාරම් දොඩන ආකාරය දැක්වෙන 2005 වසරේදී පටිගත කරන ලද වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඔහු වෙත දැඩි පීඩනයක් එල්ල වී තිබේ.