ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෙදර දොරේ වැඩට ගෙවී යන දැරියන්ගේ ළමා කාලය
වයස 5 සිට 14 දක්වා වූ ගැහැණු දරුවන් පිරිමි දරුවන්ට වඩා 40% ක් වැඩියෙන් වැටුප් නොලබා ගෙදර දොරේ වැඩ සඳහා කාලය යොදවන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළිවෙයි.
'යුනිසෙෆ්' වාර්තාව පවසන්නේ ලොවපුරා ගැහැණු දරුවන් දිනකට මිනිත්තු 160 ක් වැඩියෙන් ගෙදර දොරේ වැඩකරන බවයි.
ලොවපුරා ගැහැණු ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ කෑම පිසීම හෝ පිරිසිදු කිරීම කරන අතර අඩකට වැඩි පිරිසක් ජලය රැගෙන ඒම හෝ දර කැඩීමට යති.
ඒ සමගම ඔවුන් ළමුන් හෝ වැඩිහිටියන් රැක බලා ගැනීම වැනි අවධානයට ලක්නොවන වැඩවල යෙදෙන බවයි වාර්තාව වැඩි දුරටත් පවසන්නේ.
අමතර වැඩ ප්‍රමාණය කාලයත් සමග වැඩි වන අතර වයස 5 සිට 9 දක්වා ගැහැණු ළමුන් කාලයෙන් 30% ක වැඩි කාලයක් ගෙදර දොරේ වැඩ සඳහා යොදවන බවද වාර්තාවේ දැක්වේ.
වයස 14 වන විට එය 14% දක්වා වැඩිවන බවයි 'යුනිසෙෆ්' වාර්තාව මගින් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.
ජලය හෝ දර ගෙන ඒමට නිවසින් බැහැර යාම ගැහැණු ළමුන් ලිංගික අතවර වලට ලක්වීම වැඩි වීමට හේතුවක් වන බවද වාර්තාව පෙන්වා දෙයි.
ලොවපුරා වැඩිම කාලයක් ගෙදර දොරේ වැඩට වැය කරන්නේ සෝමාලියාවේ වයස 10 සිට 14 දක්වා වූ ගැහැණු ළමුන් වන අතර එය සතියකට පැය 26 කි.
බුර්කිනා ෆාසෝ සහ යේමනය යන රටවල් පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් ගේ ගෙදර දොර වැඩ කරන කාලය සම්බන්ධයෙන් වඩාත් විශාල පරතරයක් පෙන්නුම් කරයි.
මේ අනුව ඉගෙනීමට, වර්ධනය වීමට සහ ළමාවිය අත් විඳීමට ගැහැණු ළමුන්ට ඇති ඉඩකඩ සීමා වී ඇති බවයි යුනිසෙෆ් සංවිධානයේ අන්ජු මලෝත්රා ප්‍රකාශ කළේ.
මෙම යුනිසෙෆ් වාර්තාවේ ළමා විවාහ, ගැහැණු දරුවන්ගෙ ලිංග ඡේදනය, ඇතුළු කරුණු පිළිබඳව ද ඇතුළත් වන අතර ඔක්තෝබර් 11 වෙනිදාට යෙදී තිබෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනයට සමගාමීව නිකුත්වූවක් බවයි වාර්තා වන්නේ.