මතට එරෙහිව මමත් හිට්ලර් කෙනෙක් - දුටර්ටේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන් මරා දැම්මා සේ තමාද හැකිතරම් ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මරාදැමීමට කැමැත්තෙන් සිටින බව තම මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන ජර්මනියේ 'හෝලොකොස්ට්' ඝාතන වලට සමාන කරමින් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ පවසයි.
'හිට්ලර් තිස් ලක්ෂයක් යුදෙව්වන් මරාදම්මා...මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවනුත් තිස් ලක්ෂයක් ඉන්නව. ඔවුන් මරාදමන්න මම කැමතියි' යනුවෙනුයි ජනාධිපතිවරයා පැවසුවේ.
ජර්මනියේ නාසි හමුදා විසින් අවම වශයෙන් හැට ලක්ෂයක් යුදෙව්වන් සහ වෙනත් සුළු ජාතිකයින් මරා දමනු ලැබූ බවයි පැවසෙන්නේ.
පසුගිය ජූනි මාසයේ පිලිපීන ජනාධිපති පදවියට පත් දුටර්ටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ ජාවාරම්කරුවන් දරුණු ලෙස විනාශකරමින් සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නිල වාර්තා වලට අනුව මේ දක්වා තුන්දහසකට වැඩි පිරිසක් පොලීසිය සහ නීත්‍යානුකුල නොවන ඝාතන කණ්ඩායම් විසින් මරා දමනු ලැබ තිබේ.
එසේ මරාදමනු ලැබූවන්ගේ සිරුරු ඔවුන් විසින් කරනු ලැබූ වැරදි ක්‍රියාවන්ගේ ලැයිස්තුවක් ද සමග ජනතාවට දැකගතහැකි වනසේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන බවයි වාර්තා වන්නේ.
පිලිපීනයේ අපරාධ අඩුකිරීම පිණිස අපරාධකරුවන් ලක්ෂයක් මරාදමන බව ජනාධිපති දුටර්ටේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ නගරාධිපතිවරයාව සිටිය දී මත්ද්‍රවය විරෝධී වැඩසටහනක් ආරම්භකර කුලී ඝාතකයන් යොදාගත් බවට ඔහුට චෝදනා එල්ලවූ දවාවෝ නගරයේදීය
තමා ජනසංහාරයක යෙදෙන බවට චෝදනා කරන්නන්ව විවේචනය කිරීම හේතුවෙන් තමාව 'හිට්ලර් ගේ ඥාති සහෝදරයෙකු' ලෙස හුවා දක්වන බවයි ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ.
ඔහු වැඩිදුරටත් පැවසුවේ සියලුම මත්ද්‍රවය ජාවාරම් කරුවන් සහ මතට ඇබ්බැහි වූවන් මරා දමා අනාගත පරපුරට පිලිපීනය ඉතිරිකර දීම තම අභිප්‍රාය බවයි.









