පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතුරු ඇඟවීමක්

Rodrigo Duterte, 17 Aug

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, තමා ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් වලට එරෙහි වීම මෝඩ ක්‍රියාවක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ

මත්ද්‍රව්‍ය වලට එරෙහිව තමා ගෙන යන වැඩසටහනට අන්තර්ජාතික නීතිය යටතේ එරෙහිවන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වන බවට පිලිපීන ජනාධිපති දුටාර්ටේ තර්ජනය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් ගොඩනගන ලෙස චීනය සහ අප්‍රිකානු රටවලින් ඉල්ලාසිටින බව පැවසූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය, දුප්පත්කම සහ ලොවපුරා පවතින ගැටුම් අවසන් කිරීමට නොහැකි වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවේචන එල්ල කළේය.

පසුගිය මැයි මාසයේ පදවියට පත් ජනාධිපති දුටාර්ටේ මත්ද්‍රවය රැගෙන ඒම සහමුලින් නැතිකිරීම වෙනුවෙන් ජාවාරම් කරුවන් මරාදැමීම අනුමත කළේය.

එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා පදවියට පත් පසුගිය මැයි මස 9 වැනිදා සිට මේ දක්වා මත්ද්‍රවය ජාවාරම් පිලිබඳ සැක කරුවන් 900 ක් මරාදමනු ලැබුණි.

පසුගිය සතියේ මානව හිමිකම් විශේෂඥයන් දෙදෙනෙකු පැවසුවේ ජනාධිපති දුටාර්ටේ විසින් මත්ද්‍රවය ජාවාරම් කළ බවට සැක කරන්නන් මරා දැමීමට සහ ඔවුනට වධහිංසා පැමිණවීමට පොලීසියට දී ඇති බලය ජාත්‍යන්තර නීතිය අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

Residents of a Manila district at the scene of a shootout that left two suspected drug dealers dead

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මැනිලා නුවර මත්ද්‍රවය ජාවාරම් පිලිබඳ සැක කරුවෙකු මරා දැමුණු ස්ථානයට රැස් වූ ජනතාවගෙන් පිරිසක්

මේ මානව හිමිකම් විශේෂඥයන් මෝඩයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන් මත්ද්‍රවය නිසා විනාශ වී යන අහිංසක ජීවිත පිලිබඳ සලකා බැලිය යුතු බවයි.

"මට ඔබට අපහාස කරන්න අවශ්‍ය නැහැ. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීම සඳහා තීරණයක් ගන්න වෙයි" යනුවෙනුයි ජනාධිපති දුටාර්ටේ සඳහන් කළේ.

"ඔබ ඒ තරම් කුරිරු නම් අපිටත් ඉවත්වෙන්න සිදුවෙයි, අපිව ඔබේ සංවිධානයෙන් ඉවත්කරන්න. ඔබ කිසිම දෙයක් කරලා නැහැ. කොහෙද මෙච්චර කල් හිටිය? විවේචන විතරක් අපි බලාපොරොත්තුවෙන්නේ නැහැ" යනුවෙන් පැවසූ ජනාධිපති දුටාර්ටේ 'අපේ සාමාජික මුදල් ආපසු දෙන්න එතකොට අපිට අයින්වෙන්න පුළුවන්' යනුවෙනුයි ප්‍රකාශ කළේ.

"එකසත් ජාතීන්ගේ සංවිධානයට පුලුවන්නම් මං ගැන එක නරක දෙයක් පෙන්නන්න මට පුළුවන් ඔබලා ගැන නරක දේවල් 10 ක් පෙන්නන්න. ඔබලා කිසිම වැඩකට නැහැ, මොකද ඔබ ප්‍රඥප්තියට අනුව කටයුතු කරනවා නම් ඔබට මේ සියලුම යුද්ධ සහ මිනී මැරුම් නවත්වන්න පුළුවන් වෙන්න ඕන" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.