ඔබාමා දුටර්ටේ සමග සාකච්ඡාව අවලංගු කරයි

ඡායාරූප මූලාශ්‍රය, AP
මතභේදයට ලක්ව සිටින පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ සමග පැවැත්වීමට නියමිතව තිබූ හමුව ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් අවලංගු කරනු ලැබ තිබේ.
පිලිපීන ජනාධිපතිවරයා විසින් 'වෛශ්‍යාවකගේ පුතෙකු' ලෙස ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාව හැඳින්වීම මෙයට හේතුව බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගිනිකොනදිග ආසියා රටවල සමුළුව නොහොත් 'ආසියාන්' (ASEAN) සමුළුව ලාඕසයේ දී ආරම්භවූයේ රාජ්‍යතාන්ත්‍රික නොමනාපයක් සමගයි.
පිලිපීනයේ මත්ද්‍රව්‍ය මර්ධනය නමින් සිදුවන මිනීමැරුම් සම්බන්ධ කාරණය සමුළුවේ දී මතුකරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිලිබඳ අදහස් දක්වමිනුයි පිලිපීන ජනාධිපතිවරයා එම ප්‍රකාශය කර තිබුණේ.
පිලිපීන ජනපති ඔහුගේ අසාමාන්‍ය භාෂා හැසිරවීම පිලිබඳව ප්‍රසිද්ධියක් ලබා සිටින නමුත් මෙවර ඔහුගේ ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට බලපානු ඇති බවයි පැවසෙන්නේ.
පසුව ප්‍රකාශයක් කරමින් දුටර්ටේ පවසා තිබුණේ තමන්ගේ ප්‍රකාශය පෞද්ගලික ප්‍රහාරයක් වීම පිළිබඳව කණගාටුවන බවයි.
දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පළුදු මකා දැමීමට කටයුතු කරනු ඇති බවටයි ඔහු විශ්වාසය පළකර තිබුණේ.
එහෙත් පාප් වහන්සේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිලධාරීන් සහ පිලිපීනයේ ඇමරිකානු තානාපතිවරයා ඇතුළු ලෝක නායකයන්ට අපහාස වන ආකාරයෙන් කරන ඔහුගේ භාෂා විලාශය නවතා දැමීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
ජනාධිපතිවරු දෙදෙනාම ලාඕසයේ පැවැත්වෙන ගිනිකොනදිග ආසියා රටවල සමුළුවට සහභාගී වී සිටිති.
පිලිපීන ජනාධිපතිවරයා මෙවැනි නොමනා වදන් වලින් ඇමතුවේ ඇමරිකානු ජනාධිපතිවරයා පමණක් නොවේ.
මීට ප්‍රථම පාප් වහන්සේ 'වෛශ්‍යාවකගේ පුතෙකු' ලෙස හැඳින් වූ ඔහු ඇමරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරී "ක්‍රේසි" ලෙස නම් කළේය. ඉන් නොනැවතුණු ඔහු පිලිපීනයේ ඇමරිකානු තානාපතිවරයාව හඳුන්වා තිබුණේ "වෛශ්‍යවකගේ සමලිංගික පුතෙකු" ලෙසටයි.









