ඉතාලියේ දරුණු භූමිකම්පාවකින් පිරිසක් මරුට

රික්ටර් මාපකයේ 6.2 ක් පෙන්නුම් කළ මධ්‍යම ඉතාලියේ සිදුවූ දරුණු භූමිකම්පාවකින් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව ඉතාලි බලධාරීහු පවසති.

වඩාත්ම දරුණු හානි සිදුවී ඇති ඇමට්‍රිස් නගරයේ නගරාධිපතිවරයා පැවසුවේ නගරයෙන් භාගයක් පමණ විනාශ වී ඇති බවයි.

අකියුමොලි නගරයේ හතරදෙනෙකුගෙන් යුත් පවුලක් ඔවුන්ගේ නිවසේ සුන්බුන් වලට යටවී මියන්නට ඇති බවටයි බිය පළකෙරෙන්නේ.

ඉතාලි වේලාවෙන් පාන්දර 03:36 ට පමණ රෝමයට ඊසාන දිගින් සැතපුම් 65 ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකටයි මේ භූමිකම්පාව බලපා ඇත්තේ.

රෝමයේ ද ඇතැම් ගොඩනැගිලි මිනිත්තු 20 ක පමණ කාලයක් සෙලවීමට ලක්වූ බවයි වාර්තාවන්නේ.

මරණ සංඛ්‍යාව තවත් ඉහල යාහැකි බව බලධාරීහු පවසන අතර මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ප්‍රකාශ කළේ පුද්ගලයන් 309 කට මරු කැඳවූ 2009 වසරේ අකුයිලා ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවද මෙම භූමිකම්පාවට සමාන වූ බවයි.

මෙම භූමිකම්පාව හේතුවෙන් වඩාත් දරුණු විනාශයක් සිදුවී ඇති ඇමට්‍රිස් නගරයේ පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් ඇති අතර දිවි බේරාගත්තවුන් සෙවීමේ මෙහෙයුම් දියත්කොට ඇත.