නීස් ප්‍රහාරය: ශ්‍රී ලාංකික කාන්තාවකගේ අත්දැකීම

අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රංශ නිදහස් දින උත්සවයට සහභාගි නොවීම නිසා සිය දිවි බේරුන බව හැඟෙන්නේ යයි ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ නීස් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකික සජීවනී ප්‍රියන්ති කඳනාරච්චි පවසයි.

නිදහස් දින උත්සවය පැවැත්වුණු චතුරශ්‍රයේ පිහිටි හෝටලයක සේවය නිමා කොට තමාද උත්සවයට සහභාගිවීමට නියමිතව සිටි බවයි ඇය බීබීසී සංදේශයට කියා සිටියේ.

"ඇත්තටම මමයි මගේ බබායි ගියා නම් සමහරවිට අපිත් ඒකට අහුවෙන්න තිබුනා." ඇය පැවසීය.

"අද උදේ හොටෙල් එකට ගිහිල්ල බැලුවහම මම ශොක් වුනා. පොඩි ළමයි අරගෙන යන කාට් ඒවා ඔක්කොම පාරේ තියෙනව." (හඬ පටයට සවන්දෙන්න)

මුළු රාත්‍රියම පාහේ නිදිවර්ජිතව ගත කළ බව පවසන සජීවනී ප්‍රියන්ති, සිය ඇතැම් සහෝදර සේවිකාවන් කම්පනය හේතුවෙන් මේ වනතුරුම නින්දක් ලබා නැති බවත් සඳහන් කළාය.

නිදහස් උත්සවයට සහභාගි නොවූ නිසා ප්‍රහාරය සියැසින් නොදුටුවත්, ප්‍රහාරයෙන් අනතුරුව නගරවාසීන් හිස හැරුණු අත දිව යන ආකාරය නිවසේ බැල්කනියේ සිට කම්පිතව බලා සිටි බවයි ඇය පවසන්නේ.

"අද උදේ පාන්දර හතර විතර වෙනකල්ම ඇම්බියුලන්ස් යනවා, ඒ සද්ද ඇහුන. ඒ සද්ද විතරයි එළිවෙනකල්ම ඇහුනේ."

සාමාන්‍යයෙන් ඉතා විනෝදයට ලැදි නීස් නගරයේ ජනතාව ප්‍රහාරයෙන් අනතුරුව කම්පිතව නිවෙස් තුලම රැඳී සිටින බවත් ඇය සඳහන් කළාය.

"ඒගොල්ලන් ඊයේ දවස පුදුම සන්තෝසෙන් හිටිය. මම දන්නේ නෑ මට කියන්න වචන නෑ ඒ මිනිස්සු මොන තරම් ජීවිතේ එන්ජෝයි කරනවද කියල. ඒත් ඊයේ වුන දේ ...," සජීවනී ප්‍රියන්ති කඳනාරච්චි බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පැවසුවේ වේදනාව සහ කම්පනය දරාගත නොහැකිව හැඬුම්බර වෙමින්.

නීස් නගරයේ ශ්‍රී ලාංකිකයන් 75 ක් පමණ වාසය කරන අතර එහි ශ්‍රී ලාංකිකයකුට අයත් 'ආරාධනා' නම් ආපන ශාලාවක්ද තිබෙන බවත් ඇය පවසන්නීය.

"ඒගොල්ලන් ගිහිල්ල තිබ්බ ඒත් කිට්ටුවටම ගිහිල්ල නැහැ. ඒගොල්ල වීඩියෝ කරගෙන ඇවිත් තිබ්බ ෆයර්වර්ක්ස් එහෙම."

කෙසේ නමුත් ඇය දන්නා පරිදි ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් ප්‍රහාරයෙන් හානියක් වී නැහැ.

ඉතා කඩිසර, ජනාකීර්ණ නගරයක් වන නීස් හි ජනතාව ප්‍රහාරයෙන් අනතුරුව ඉතාමත් බියෙන් දිවි ගෙවන බවත් සජීවනී ප්‍රියන්ති කඳනාරච්චි වැඩිදුරටත් සඳහන් කළාය.