ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තමිල්නාඩුවෙන් පැනගිය ශ්‍රී ලාංකිකයන් රැගත් බෝට්ටුවක් හමුවෙයි
ගර්භිනී කාන්තාවක් සහ ළමුන් 9 දෙනෙකු ප්‍රමුඛ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 44 දෙනෙකු රැගත් ඔස්ට්‍රේලියාව බලා යමින් තිබූ මුහුදු යාත්‍රාවක් ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ බණ්ඩා ප්‍රදේශය අසල මුහුදේ දී ධීවරයන් පිරිසකට හමුවිය.
ගොඩබිමේ සිට මීටර 400 ක් දුරින් මුහුදේ දී හමුවූ මෙම බෝට්ටුව තමිල්නාඩුවේ නිෂ්පාදිත එකක් බවටයි වාර්තා වන්නේ.
මේ සිදුවීම පිලිබඳ අදහස් දැක්වූ බීබීසී ඉන්දුනීසියානු සේවයේ ගින් ජිනන්ජර් පැවසුවේ මෙම බෝට්ටුව මුලින්ම ධීවරයන්ට හමුවී ඇත්තේ මීට දින තුනකට කලින් බවයි.
'ඉන්ධන ඉල්ලුවා'
"බෝට්ටුවේ හිටපු අය කියල තියෙන්නෙ එන්ජිමේ ප්‍රශ්නයක් තියනව කියල. ඊට පස්සේ ප්‍රාදේශීය පොලීසියයි ඉමිග්රේෂන් එකයි එකතුවෙලා මිකැනික්ල දෙන්නෙක් යවල තියනව බෝට්ටුවට. හැබැයි ඒ දෙන්න කියල තිබුනෙ බෝට්ටු එන්ජිමේ කිසිම දෝෂයක් නැහැ කියල" යනුවෙන් ඔහු පැවසීය.
කෙසේනමුත් ඉන්පසු බෝට්ටුව පැදවූවන් පවසා ඇත්තේ ඔවුන්ට ඉන්ධන අවශ්‍ය බවයි.
ලීටර් හත් දහසක ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය බව ඔවුන් පැවසුවද ඉන්දුනීසියානු බලධාරීන් විසින් ඉන්ධන ලීටර දහසක් පමණක් ලබා දී ඉන්දුනීසියානු මුහුදු සීමාවෙන් ඉවත්වෙන ලෙස ඔවුන්ට දන්වා තිබුණි.
ඉන්පසු ක්‍රිස්මස් දුපත බලා යන බව පවසමින් ඉන්දුනීසියානු නාවුක බලධාරීන්ගේ මගපෙන්වීම යටතේ ඉන්දුනීසියානු මුහුදු සීමාවෙන් ඉවත් වී ගියද එදිනම් රාත්‍රියේ ඔවුන් නැවත පැමිණි බවයි ගින් ජිනන්ජර් සඳහන් කළේ.
එසේ පැමිණි ඔවුන් නැවතත් ඉන්ධන ඉල්ලා සිටින බවයි ඔහු පවසන්නේ.
ගර්භිණී කාන්තාවක්
"ඉමිග්රේෂන් එකේ ප්‍රධානියා කියන විදියට එතන සේරම හතලිස් හතර දෙනෙක් ඉන්නව. පිරිමි 20 දෙනෙක්, කාන්තාවන් 15 දෙනෙක් සහ ළමයින් නම දෙනෙක්. එක කාන්තාවක් ගර්භිනී තත්වයෙන් ඉන්නව. අපි යවපු වාර්තාකරු කියන විදියට සියලු දෙනා හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නව. දෙන්නෙක් වතුරට පැනල ගොඩබිමට යන්න හදනකොට අත්අඩංගුවට පත් වුණා" යනුවෙන් ඔහු පැවසීය.
මේ අතර බීබීසී සිංහල අංශයේ වැඩ බලන සංස්කාරක තිරුමලයි මනිවන්නන් විසින් කල විමසීමකදී ,ඊලාම් අනාථයන් පුනරුත්ථාපනය කිරීම පිලිබඳ සංවිධානයේ ලේකම් S. කාන්දීපන් සඳහන් කළේ එරෝ දිස්ත්‍රික්කයේ භවනි සාගර් කඳවුරෙන් අතුරුදහන්වූ ඇතැම් සරණාගතයන් මෙම බෝට්ටුවේ සිටි බවයි.
"ඒරෝ දිස්ත්‍රික්කයේ භාවනි සාගර් කඳවුරෙන් ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙක් අතුරු දහන් වෙච්ච බව අපට වාර්තා වුණා. තමිල්නාඩුවේ තවත් අනාථ කඳවුරු වලින් පුද්ගලයන් අතුරුදහන් වීම් ගැන දැනගන්න ලැබුණ. පොලීසිය සහ වෙනත් නිලධාරීන් ඒ ගැන විමර්ශන සිදු කරනව. ඉන්දුනීසියාවෙදී හසුවූ බෝට්ටුවේ ඉන්න සමහර පුද්ගලයන් සහ භවනි සාගර් කඳවුරෙන් අතුරුදහන් වූවන්ගේ අනන්‍යතාවය ඡායාරූප මගින් හඳුනාගෙන තියනව" යනුවෙනුයි කාන්දීපන් පැවසුවේ.
මිනිස් ජාවාරම් කරුවන්ට එරෙහිව ගෙනයන මෙහෙයුම් පැවතුනද අනතුරුදායක ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට යාම සඳහා තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කරුවන්ට මුදල් ලබා දෙන බවයි කාන්දීපන් සඳහන් කළේ.